සිසුන් දෙදෙනෙකුට එක පොතක්

සිසුන් දෙදෙනෙකුට එක පොතක්

පාසල් සිසු සිසුවියන්ට 2018 වසර සඳහා පෙළපොත් ලබාදීමේදී පෙළපොත් අවශ්‍යතාවයෙන් 50% ක් පමණක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර අති බව ලංකා ගුරු සංගමය නිවේදනයේ නිකුත් කරමින් සඳහන් කරයි.

එසේ ලබාදුන් අලූත් පෙළපොත් 50% සමග පරණ පෙළපොත් ලබාදීමට නියම කිරීමෙන් පාසලේ අවශ්‍යතාවයට සරිලන පෙළපොත් සොයා ගැනීමේ දුෂ්කරතාවට විදුහල්පතිවරුන් මුහුණ දී ඇති බවත් 50% ක් පමණක් වූ අලූත් පෙළපොත් දරුවන් අතර බෙදීමේදී දරුවන්ට සමාන ලෙස සැලකීමේ අවස්ථාව අහිමිවීමෙන් ගුරුවරු ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම ක්‍රියාව හේතුවෙන් බොහෝ සිසු සිසුවියන්ට අලූත් පෙළ පොත් ලබාගැනීමේ අවස්ථාව අහිමි වී ඇති බවද ලංකා ගුරු සංගමයේ නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන ආකාරයට 2018 වසරේ සිට 9 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම නව විෂය නිර්දේශයට අදාළ පැරණි පෙළ පොත් පාසල්වල නොමැත. ඒ පසුබිමේ 50% ක පෙළපොත් ලබාදීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් පෙළපොත් 9 ශ්‍රේණියේ සිසුන්ට ලබාදීම බරපතල ගැටලූවක් බවට පත්ව ඇති අතර පාසල් සිසු සිසුවියන්ද බලවත් අපහසුතාවකට පත්ව සිටියි.

එසේම ප‍්‍රාථමික පාසල්වල 2017 වසරේ දී 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් 2018 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා නව පාසලකට ඇතුළත් වේ. එම සිසුන්ට ඔවුන් අධ්‍යාපනය ලැබූ ප‍්‍රාථමික පාසලෙන් 6 ශ්‍රේණියට අවශ්‍ය නව පෙළපොත් ලබාදිය යුතුය. මෙම 50% ක පෙළපොත් කප්පාදුව නිසා 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන සිසුන්ට පෙළපොත් නොලැබීමේ තත්වයක් මේ වන විටත් උද්ගත වී ඇත.

මහජන මුදලින් රුපියල් මිලියන 2500 ක් පෙළපොත් මුද්‍රණයට වියදම් කර මේ ආකාරයෙන් පාසල් දරුවන්ට ලබාදෙන පෙළපොත් ප‍්‍රමාණය 50% කට සීමා කර ඉතිරි පොත්වලින් කුමක් කරන්නේද යන්න බරපතල ගැටලූවක් බව සඳහන් කරන ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ මේ ක්‍රියාව මෙතෙක් පාසල් සිසුන්ට නොමිලේ ලබාදුන් පෙළපොත මුදලට ලබාදීමේ සැලසුමක ආරම්භයක් වියහැකි බවට සැකයක් මතුවන බවද අවධාරණය කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න