මිග් යානා ගනුදෙනුවට අදාල නඩුවට පෙනී සිටිම සදහා රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටියද ඔහුව නියත වශයෙන් අත්අඩංගුවට පත්වෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඒ මේ වනවිටත් ඔහු ලංකා අධිකරණයේ විවෘත වරෙන්තුවක් ලබා සිටින්නෙකු වීම නිසාය.
මේ පිළිබඳ නඩුව අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී චෝදනා ලබා සිටින උදයංග වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයා අදාල නඩුවට පෙනි සිටිම සදහා දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බවය.
ඊට පිළිතුරු ලබාදෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය පෙන්වා දුන්නේ මෙම නඩුවට අදාලව උදයංග වීරතුංග මහතාට මේ වනවිට අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙක් මෙන්ම ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කොට ඇති සැකකරුවෙක් බවය.
ශ්‍රි ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන එම රාජ්‍යයේ බන්ධනාගාරයක රඳවා සිටින බැවින් ඔහුට අවශ්‍ය ලෙස මෙරටට පැමිණිමට හැකියාවක් නොමැති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥවරයා අධිකරණය පෙන්වා දුන්නේය.
රජයේ නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ අදාල සැකකරු ශ්‍රි ලංකන් ගුවන් සමාගමකට අයත් යානයකට නැංවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා බවයි.
එමෙන්ම එම ගණුදෙනුවට සැකසහිත ලෙස සම්බන්ධ වී ඇතැයි කියන ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කමාන්ඩර්වරයෙක් ඇතුලු උසස් නිලධාරින් 5දෙනෙකුට අයත් බැංකු ගිණුම් 40ක තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙස මෙහිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බැංකු ආයතන 7කට නියෝග කළ බවද වාර්තා වෙයි.

