Language Switcher

V2025

ශ්‍රීලනිප ඇමතිවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

වත්මන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකු තම අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වෙන බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍යවරුන් දෙදෙනා මෙසේ ඉල්ලා අස්වීම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සිටින ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනාට සිය අමාත්‍යධුර ලබාදීමට එකඟතාව පළකරමින් ය.

ඒකාබද්ධ විපක්ෂය දියකර මේ මොහොතේ ගොඩනගමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැබෑ අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කිරීම බවත් ඊට එරෙහිව පක්ෂය රැකගැනීම වෙනුවෙන් මේ තීරණය ගැනීමට තීන්දු කළ බව ඔවුන් එහිදී ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ අමාත්‍යධුර වැඩි කිරීමට යෝජනා කිරීමට හෝ යහපාලන ප්‍රතිපත්ති වලට අනුකූල නොවන බවත් එවැනි පටු තැනකට නොවැටී ආණ්ඩුවේ මෙන්ම ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමට සහය දැක්වීම තම එකම අරමුණ බවද ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය අත්හැර යනු ඇති බවට සැකකරන දේශපාලනඥයින් සොයාගොස් ඔවුන්ව තවදුරටත් රඳවා ගැනීමේ වගකීම නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බව වාර්තා වෙයි.

මට හිතෙන්නෙ යයි - නාමල්

මහින්ද රාජපක්ෂ නියෝජනය කරමින් නාමල් මේ සඳහා යොදවා ඇති අතර ඒ අනුව මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු මුණ ගැසීම සඳහා නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එහි ගොස් ඇත.

එහිදී මේ මොහොතේ ඒකාබද්ධය අත්හැර නොයන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරගත් සැනින් සියළු ප්‍රශ්න විසඳාදෙන බවට නාමල් රාජපක්ෂ පොරොන්දුවී ඇතත් අදාළ දේශපාලනඥයා ඊට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

පසුව පැමිණි නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැනුම්දී ඇත්තේ තමන්ගේ යෝජනාවට අදාළ දේශපාලනඥයා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් තමන්ට දැනුන ආකාරයට ඔහු ආණ්ඩුවට එක්වනු ඇති බවය.