ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත් 

ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත් 

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ල වී ඇති බව රාජපක්ෂ පවුලට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනිද්දාට වාර්තා වේ. ඒ සඳහා හේතු වි ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය ගියහොත් තමන්ගේ දේශපාලන අනාගතයට එය තර්ජනයක් විය හැකි බව රාජපක්ෂ පුතුන් සිතීම නිසා බවත් වාර්තා වේ.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරය හොබවමින් ගෝඨාභය රාජපක්ෂ, විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට පවා අවනත නොවී විධායක ජනාධිපති බලය අතික්‍රමණය කරමින් හිතුවක්කාරී ආකාරයෙන් සිදු කර ඇති ඇතැම් ක්‍රියාකාරකම් පෙන්වා දෙමින් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුව කිසිසේත්ම කිසිවකුට මෙල්ල කළ නොහැකි ‘හිට්ලර්‘ කෙනෙකු වනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුගේ හැසිරීම් රටාව කිසිදු විටෙකදී රාජපක්ෂ පවුලේ පුතුන් ත්‍රිත්වයට හිතකර එකක් නොවන අතිශය පිඩාකාරී එකක් වන තැනකට තල්ලුවීම වඩතේ අනතුරුදායක බවත් එහිදී අවධාරණය වී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ නම් කරනු ලබන පුද්ගලයෙකුට බැවින්ද, ඔහුගේම බිරිඳ ඒ සඳහා නම් කරන්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන බව ද එම බලපෑම්වලදී රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ද එහිදී අවධාරණය කෙරී ඇත.

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සිය පවුල සාකච්ඡා කර තීරණයට ආ බව මාධ්‍යයට පිළිතුරු දෙමින් පසුගියදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළත් එම අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි කළේ නැත. දේශපාලන කරලියේ සිටින රාජපක්ෂ සහෝදරවරුන් වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන හතරදෙනා පසුගිය දිනක මිරිහානේ පිහිටි ඔවුන්ගේ සහෝදරියකගේ නිවසට රැස්වී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කර ඇතත් එහිදී පැමිණි ඇති අවසන් එකඟතාවය වන්නේද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව නම් කිරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමටය.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර තිබුණ ද ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නට හැකිවේ ද යන ප්‍රශ්නය ද එමෙන්ම බැසිල් රාජප්කෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය ද මෙහිදී අවධානයට ලක් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ගෙන ඒමෙන් වළකින ලෙස ඇමරිකාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාධිපතිවරයා මඟින් දැනුම් දීමක් කළ බව මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීප මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනයන්, පුද්ගල මරණ හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු වී ඇති බව ද දන්වා තිබුණි.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න