Image

සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුල යි - විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර

සරුංගල් යැවීමේ දී සිදුවන අනතුරු බහුල යි - විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර

පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි  අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීම

සරුංගල් යැවීම විනෝදාස්වාදජනක ක්‍රියාකාරකමක් වුව ද, නොසැලකිලිමත් ලෙස සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව එය සිදුකිරීම හේතුවෙන් දරුවන් ඇතුළු පුද්ගලයින්ට බරපතළ සහ ඇතැම් අවස්ථාවල ජීවිත අවදානමකට පවා මුහුණ දීමට සිදුවිය හැකි බව ද  එම නිවේදනයේ සඳහන් වේ.

කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේ දී සිදුවන ගැටීම් හා වැටීම් මෙන්ම, උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් හේතුවෙන් බරපතළ අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවත්, මෙවැනි අනතුරු සම්බන්ධයෙන් මේ දිනවල වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

විශේෂයෙන් සරුංගල් යැවීමේදී භාවිත කරන නූල් අධිබලැති විදුලි රැහැන්වල ගැටීම හේතුවෙන් විදුලි ධාරාව නූල ඔස්සේ පුද්ගලයා වෙත සම්ප්‍රේෂණය වී විදුලි සැර වැදීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන අවස්ථා ද නිරීක්ෂණය වී ඇති බව ද  එම නිවේදනයේ සඳහන්ය.

විදුලි සැර වැදීමෙන් සිදුවන පිළිස්සුම් තුවාල හේතුවෙන් අත්, බාහු සහ ඇතැම් අවස්ථාවල පපු ප්‍රදේශයේ ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායු දැඩි ලෙස හානිවීමට ඉඩ ඇති අතර, එවැනි හානි හේතුවෙන් එම ශරීරාංග යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම නිසා ශල්‍යකර්ම මගින් හානි වූ කොටස් ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා පිළිබඳව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වාර්තා කර ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම, අධිබලැති විදුලි රැහැන් සමඟ විදුලි සන්නායකතාව ඇති නූල් ගැටීමෙන් සිදුවන විදුලි සම්ප්‍රේෂණය හේතුවෙන් ක්ෂණිකව ජීවිත හානි පවා සිදුවිය හැකි බවද නිවේදනයේ සදහන්ය.

එබැවින් අධිබලැති විදුලි රැහැන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංගල් යැවීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු බවත් එම නිවේදනය මගින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවද එකසේ වැදගත් වන බැවින්, සරුංගල් යැවීම හේතුවෙන් සිදුවිය හැකි භයානක අනතුරු වළක්වා ගැනීම සඳහා දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම සමස්ත සමාජයම වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ඉහත නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න