Image

කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 05වන දා!

කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 05වන දා!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්: 07) නියම කළේ ය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා, 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසී ය.

එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

ඒ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමක් තෝරා ගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 8,859,708ක මුදලක් අත්තිකාරම් ඇපකරයක් මත ගෙවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේ ය.

තමා එම ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවට ඉදිරිපත් වූ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව ද සාක්ෂිකරු පැවසී ය.

කෙසේ වෙතත්, අදාළ සමාගම කාපට් ඇතිරීම සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු, එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් අනාවරණය කළේ ය.

ඉන් අනතුරුව අදාළ සමාගම ලබා දුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේ ය.

ඉන් අනතුරුව ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක් ද සාක්ෂි ලබා දුන්නා ය.

ඉන්පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.

2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න