Image

ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!

ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!

කොළඹ 07 බාන්ස්  ප්‍රදේශයේ ඉඩමකට හොර ඔප්පු සාදා කුණු කොල්ලයට  විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතු හෙයින්  මෝටර් රථ දහවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුලු සිව් දෙනකුට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා ඉදිරියේ කරුණු දැක්වූ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07)  අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාල පුද්ගලයින් හොර ඔප්පු සෑදීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ වී ද යන්න තහවුරු කරගැනීම සඳහා තවදුරටත්  විමර්ශන  සිදු කරන බවත්, එම පුද්ගලයින් රටින් පිට වුවහොත් විමර්ශනවලට බාධා සිදුවන බැවින් අදාළ විදෙස් ගමන් තහනම නිකුත් කරන ලෙසත්  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව   වැඩිදුරටත් ඉල්ලා සිටියා.

 

මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන දාහතරක් (14)ක් ලබාගත්තා ද…?

ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර සහ ඩිලන්ත මාලගමුව යන පුද්ගලයින්ට මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

අදාළ ඉඩම අලෙවිකර  මුදල්   බෙදාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, මුදල් වෙනුවට සුඛෝපභෝගී වාහන දාහතරක් (14)ක් ලබාගත්තේ යැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් ද මාලගමුව පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

කොළඹ 7 ඉඩමක් හොර ඔප්පු සාදා රුපියල් බිලියනයකට විකුණුවේ යැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත පන්නිපිටියේ ආරියපාල දිසානායක නමැති අසූ හැවිරිදි සැකකරුවකු  ලෙස නම් කර ඇති පැමිණිල්ලට විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා. වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ  කියා සිටියේ ඩිලන්ත මාලගමුව යන අයට  වාහන 14ක්  මගින් මෙසේ මුදල් ගෙවා ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයින් කීප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බැවින්, අදාළ පුද්ගලයින් සොයා ගැනීමට නොහැකි බැවින් මෙම තහනම නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නම් ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර ඔවුන් පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත සැකකරු රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා අධිකරණයට ගොනු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.පැමිණිල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු සලකා බැලෙන බැවින් ලබන 10 වැනි දින අදාළ පුද්ගලයින් සැකකරුවන් ලෙස නම් කර විදෙස් ගමන් තහනම් ඉල්ලීම එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.

කොළඹ බාන්ස් පෙදෙසේ නොම්මර 18 ස්ථානයේ පර්චස් 43 ක ඉඩම ප්‍රසිද්ධ වාහන  අලවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න