Image

පරිසරය සහ තිරසර සංවර්ධනය අනිවාර්ය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි - සජිත් ප්‍රේමදාස

පරිසරය සහ තිරසර සංවර්ධනය අනිවාර්ය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි - සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන මොහොතක කාලගුණික දේශගුණික විපර්යාස ගැන කතා කරන මොහොතේ පරිසරය සහ තිරසර සංවර්ධනය විෂය අනිවාර්ය විෂයක් ලෙස 1 වසරේ සිට ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බවට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ දියගම වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තුව අමතමිනි.

 

දියගම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාව ඉතාම කාලෝචිතයි

කාබන් උරා ගැනීම ප්‍රවර්ධනය කිරීම, ගෝලීය උණුසුම්කරණය අවම කිරීම, පරිසරය සිසිල් කිරීම, ජල චක්‍ර නියාමනය කිරීම, පාංශූ සම්පත ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම, දුර්ලභ අප රටටම ආවේණික සත්ව වර්ග ආරක්ෂා කර සමස්ත පරිසර පද්ධතියේ දරා ගැනීමේ හැකියාව වනාන්තර ආරක්ෂා කිරීමෙන් ප්‍රවර්ධනය වන බවත් ජල ධාරා ආරක්ෂණය, කාබන් ගබඩාකරණය, නාගරික බලප්‍රදේශවල උණුසුම්භාවය අවම කිරීම ආදී වශයෙන් පරිසර හිතකාමී යෝජනාවක් දියගම වනාන්තරය ආශ්‍රිතව ඉදිරිපත් කිරීමට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ස්තූතිය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

නාගරික පරිසර සංරක්ෂණය වෙනුවෙන් හඩ නැගූ ආචාර්ය හර්ෂ ද සිල්වාට ස්තුතිය හිමිවිය යුතුයි

නාගරික පරිසර සංරක්ෂණය වෙනුවෙන් හඩ නැගීම ගැන ස්තූතිවන්ත වන බවත් ඡන්දයක් දෙන්න බැරි පරිසරය වෙනුවෙන් වන සතුන් වෘක්ෂලතා වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කළ සියලු දෙනාටම ගෞරවය හිමිවිය යුතුයි

කාවන්තිස්ස යන ප්‍රසිද්ධ ඇතා රෝගාතුරව සිටින මොහොතේ වනජීවී අමාත්‍යාංශය, අමාත්‍යවරයා, නියෝජ්‍ය ඇමතිවරුන් සහ වන ජිවී අධ්‍යක්ෂ ජනරාල්, සහකාර අධ්‍යාක්ෂ සුරවීර මහතා, ලියනගම, පශූ සම්පත් වෛද්‍ය ඉසුරු මහතා ප්‍රමුඛ නිලධාරීන් මේ ඇතාට බෙහෙත් කරන්න කටයුතු කිරීම ගැන ස්තූතිය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

අලි ඇතුන් සුරක්ෂිත කරන්න වෙනමම බලගනයක් ස්ථාපිත කරන්න

අප රටේ වනයේ සිටින පිරිමි අලින්ගෙන් 6-7% ප්‍රමාණයකට දළ එන බවත් ඉන්දියාවේ මෙය 80%කට වැඩි බවත් ඒ වෙනුවෙන් මේ දුර්ලභ ඇතුන් සුරකීමට ක්ෂණික ක්‍රියාත්මක බලගණයක් ස්ථාපිත කළ යුතු බවත් කෙන්යාවේ පවා මෙවැනි බලගණ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

වන ජිවී ක්ෂේත්‍රයේ ගැටලු විසදන්න

පශූ වෛද්‍ය ක්ෂේත්‍රයට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවත් පශූ සම්පත් අමාත්‍යාංශයට හෝ වන ජිවී අමාත්‍යාංශයට අයිති නැති නිසා මොවුන්ගේ වෘත්තිමය අයිතිය සුරක්ෂිත කිරිමත් ස්වේච්ඡා වනජීවී නිලධාරීන් ස්ථිර කරන්න වැඩපිළිවෙළක් ද නොමැති බවත් ක්ෂේත්‍ර සහකාර ඇතුළු නියාමක අඩවි ආරක්ෂක අඩවි සහකාර සහකාර අධ්‍යක්ෂවරුන්ගේ ගැටලු රැසක් ඇති බවත් මේවාට නිසි විසදුම් නොමැති නිසා වෘත්තීය ගැටලුවලට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

පරිසර සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවෙන චතුර ගුණරත්න වන අඩවි ආරක්ෂක නිලධාරියා සේවයෙන් පහකරන්න කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මකයි.

නීතිඥ චතුර ගුණරත්න නම් වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීතුමා හේරත්ගම අඩවියේ සිට කහල්ල පල්ලෙකැලේ කැලෑව ආරක්ෂා කිරිම ගැන මුහුණු පොතේ අදහස් ඉදිරිපත් කිරීමත් හක්වටුනාව ජලාශ්‍රයේ රක්ෂිතය ආරක්ෂා කරන්න කටයුතු කළ නිසා හේරත්ගමින් කුරුණැගලට එවා අද වන විට චෝදනා පත්‍ර වෙනස් කර කර රැකියාවෙන් පහ කරන්නට උත්සාහ කරන බවත් දැන්වත් මේ චතුර ගුණරත්න මහතාගෙන් පළි ගැනීම නොකරන ලෙසත් ප්‍රබුද්ධ ප්‍රශස්ත ගුණාත්මක සේවාවක් ඔහු ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න