Image

දුමින්දගේ රන් ආලේපිත ගිනි අවි නඩුවේ විභාගයට දින නියම කිරීම 23 වැනිදාට!

දුමින්දගේ රන් ආලේපිත ගිනි අවි නඩුවේ විභාගයට දින නියම කිරීම 23 වැනිදාට!

මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 23 වන දා කැඳවන ලෙසත්, එදිනට නඩුවේ විභාගයට දින නියම කරන බවත් කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේදී කැඳවනු ලබූ අතර, එහිදී විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, පැමිණිල්ල විසින් විත්තියට ලබා දීමට ඇති සියලු ලේඛන ලබා දී ඇති බවත්, එදිනට ඒ පිළිබඳ සලකා බලන බවත්, ඉන් අනතුරුව නඩු විභාගයට දින නියම කරන බවයි.

එමෙන්ම, පළමු විත්තිකාරිය ඉංග්‍රීසි භාෂාව හසුරුවන කාන්තාවක් බැවින් අධිචෝදනා පත්‍රයේ පිටපතක් ඉංග්‍රීසි බසින් ලබා දීමට පියවර ගැණුණි. ඇගේ වීසා කාලය අවසන් බැවින් එය සකස් කර ගැනීම සඳහා අධිකරණ භාරයේ පවතින ඇගේ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසද මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අද දින අධිකරණයේදී පළමු විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ද, දෙවන විත්තිකරු වන දුමින්ද දිසානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සමදරි පියසේන ද පෙනී සිටියාය.

2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න