Image

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්!

ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (05) අවසන් වී තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කරමින් සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පැවති බව කියන අතහැරීම් (Omissions) අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.

මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු මතු වී ඇති අතර, අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන බව දැනුම් දුන්නේය.

පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වූ අවස්ථාවකදී, පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් පදනමක් නැති බව පෙන්වා දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට 200(1) වගන්තිය අදාළ වේ.

එවැනි ඉල්ලීමක් සලකා බලා පැමිණිල්ලේ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව අධිකරණය තීරණය කළහොත් විත්තිය කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කළ හැකිය. ප්‍රමාණවත් පදනමක් තිබේ නම් විත්තිය කැඳවිය හැකිය.

ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු හෙට(06) දින දක්වා කල් තැබිණි.

2010 වසරේ ජනවාරි මස මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත.

ඉකුත් දා මෙම නඩුවට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන දැනට පාස්කු නඩුවට ආදාලව රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේද සාක්ෂි ලබා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න