Image

මීගමුව බන්ධනාගාරයේ ඝාතන සිද්ධිය: සැකකරුවන් 17 දෙනකු අලුතින් නම් කෙරේ

මීගමුව බන්ධනාගාරයේ ඝාතන සිද්ධිය: සැකකරුවන් 17 දෙනකු අලුතින් නම් කෙරේ

මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දහයක් සහ රැඳවියන් විසි එකක් ඇතුළුව 32 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් සැකකරුවන් 17 දෙනෙකු නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

මෙම නඩුව අද (05) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා හමුවේ කැඳවිණි.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු:

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසූහ.

"ස්වාමීනි, මෙම නඩුවට අදාළව 106 සිට 123 දක්වා සැකකරුවන් නම් කර තිබෙනවා. මනුෂ්‍ය ඝාතන, පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීම සහ ආයුධ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවා. එසේම, මෙම නඩුවට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා සාක්ෂිකරුවන් ලෙස නොපැමිණි අට දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ඉල්ලා සිටිනවා."

ඒ අනුව අධිකරණය එම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව නම් කර ඇති 53 සිට 67 දක්වා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීම පිණිස අද දින ආවරණය කර මීගමුව බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණය වෙත රැගෙන පැමිණි බවත්, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීම සඳහා වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නම් කරන ලදී.

එසේම, මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි 87 වන සැකකාරිය වන පූජා නමැත්තිය සිය අනියම් සැමියා සමඟ කටාන ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන් කර සිටියේය. එම සැකකාරිය මෙදින අධිකරණයට ඉදිරිපත් කළ බවත්, ඇයව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් ඉල්ලා සිටියේය. වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා ඉදිරියේදී මෙදින හඳුනාගැනීමේ පෙරට්ටුව පවත්වන ලදී.

තවදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් දුලංග බණ්ඩාර නිලධාරියා පැවසුවේ, රස පරීක්ෂක වාර්තා නොලැබීම නිසා ඒ පිළිබඳව සිහිකැඳවීමක්ද නැවතත් යවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා නියෝග කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින සැකකරුවන් 123 දෙනා නොවැම්බර් 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

නොවැම්බර් 12 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න