Image

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුවේ විභාගය අවසන්; තීන්දුවට පෙර ලිඛිත හා වාචික දේශන වලට දින නියම වෙයි!

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුවේ විභාගය අවසන්; තීන්දුවට පෙර ලිඛිත හා වාචික දේශන වලට දින නියම වෙයි!

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධ යෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය අද (04) ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසන් කරන ලදී.

ඒ අනුව, නඩුවට අදාළ ලිඛිත දේශන නොවැම්බර් 25 දින කැඳවිමට ද වාචික දේශන නොවැම්බර් 30 දින කැඳවිමට දින නියම කළේය.

නඩුවේ විත්ති වාචික වීමසිමද ඊයේ දිනෙන් (03)  අවසන් කෙරිණි.

නඩුවේ විත්තිවාචකය කැඳවීම 29 වැනිදා ආරම්භ කළ අතර, අධිකරණය මඟ හැර සිටින 09 වන විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචික ඉදිරිපත් කළේ ය.

 

නඩුවේ පසුබිම සහ චෝදනා

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව  නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

 

නඩුවේ විත්තිකරුවන්

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර  , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත .

2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා  විසින් මේ පිළිබඳව  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

 

විමර්ශන සිදුවූ ආකාරය

එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන්  පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත  යොමු කර ඇති අතර, ඒ අනුව   නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කළේය. ඉන් අනතුරුව අද (04) දක්වා නඩුව දිනපතා විභාග කළා.

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බවද සඳහන් කරමින්  බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද විත්ති කූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඉකුත්  (02) වැනිදා සඳහන් කළා.

9 වැනි විත්තිකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය අධිකරණය මඟහරිමින් සිටින බැවින් ඔහු නොමැතිව නඩුව විභාග විය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න