Image

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ෆයිසර් මුස්තෆාගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්!

විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ෆයිසර් මුස්තෆාගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්!

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින්, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා විසින් ඊයේ(10) දින පාර්ලිමේන්තුවට "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන්ගේ කාර්යාංශය (සංශෝධන)" පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන්ගේ කාර්යාංශය පිළිබඳ ප්‍රධාන පනත සංශෝධනය කරමින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින්, ලියාපදිංචි සියලු ශ්‍රමිකයන් සඳහා සේවා සපයන රටවල සයිබර් නීති, සංස්කෘතික සාක්ෂරතාව සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ විශේෂ නීතිමය ප්‍රතිපාදන ආවරණය වන පරිදි පුළුල් පූර්ව පිටත්වීමේ පුහුණුවක් අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

එසේම පනතට අලුතින් ඇතුළත් කෙරෙන 48A වගන්තිය හරහා, විදේශයන්හිදී පීඩාවට පත්වන ලියාපදිංචි ශ්‍රමිකයන් වෙනුවෙන් සේවා සපයන රටෙහි නීතිඥවරුන්ගේ සහාය සහ පූර්ණ නඩු ගාස්තු ආවරණය වන පරිදි රජයේ වියදමින් නීතිමය නියෝජනයක් ලබාගැනීමට ව්‍යවස්ථාපිත අයිතියක් හිමිවේ. ඊට අමතරව හදිසි වෛද්‍ය පහසුකම්, ගමන් වියදම් සහ ආපසු මෙරටට පැමිණීම සඳහා වන ගුවන් ටිකට්පත් සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් සලසා දීම ද රාජ්‍යයේ නීතිමය වගකීමක් බවට පත් කෙරේ.

මෙම පනත් කෙටුම්පතට අනුව ශ්‍රමිකයෙකු ‘පීඩාවට පත්වූවෙකු’ ලෙස සැලකීම සඳහා කරුණු 4ක් නිර්ණායක ලෙස දක්වා තිබේ:

අඛණ්ඩව මාස 3ක් ගිවිසුම්ගත වැටුප් නොගෙවීම

වාර්තාගත ශාරීරික, මානසික හෝ ලිංගික අපයෝජනයකට ලක්වීම

විදේශීය සේවායෝජකයා විසින් නීතිවිරෝධීව හෝ නියමිත කාලයට පෙර ගිවිසුම අවලංගු කිරීම

සේවා ප්‍රදේශයේ සන්නද්ධ ගැටුම්, දරුණු දේශපාලන නොසන්සුන්තාව හෝ ස්වභාවික විපත් ඇතිවීම

පීඩාවට පත් ශ්‍රමිකයන්ට සහන, නීතිමය නියෝජනය සහ ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ අයදුම්පත් සමාලෝචනය කර තීරණය කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කිරීම සහ ඊට අදාළ රෙගුලාසි පැනවීම සම්බන්ධ විධිවිධාන ද මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබේ.

අදාළ පිටපත කියවන්නමෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න