Image

යාපනයේ වායු දූෂණය අවම කිරීමට පියවර ගන්නා බවට මහ නගර සභාවෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්!

යාපනයේ වායු දූෂණය අවම කිරීමට පියවර ගන්නා බවට මහ නගර සභාවෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්!

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලුම පියවර ගන්නා බවත්, යාපනය නගර සභාව විසින් කැලි කසල, අපද්‍රව්‍ය එකතු කරන ආකාරය, බැහැර කිරීම් ඇතුළු සියලුම කාර්යයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක පූර්ණ වාර්තාවක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බවත් අද (20) යාපනය මහ නගර සභාව අධිකරණයට පොරොන්දු විය.

යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වූ උමා සුඛී නඩරාජා විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබා දෙන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

නීතිමය කරුණු සහ ඉදිරි දිනය

මෙහිදී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුරි ඉසෙන් කරුණු දක්වමින් සඳහන් කළේ, 2017 (1) දරන ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව නගර සභා වැනි ආයතන විසින් සිදු කරන විවෘත කැලි කසල දහනයන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන බවද ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව නඩුව තවදුරටත් විවාද අවස්ථාවේම රඳවා ගනිමින් 2027 පෙබරවාරි 03 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, සවන්ති පොන්නම්පෙරුම, උවිඳි දිසානායක යන නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුරි ඉසෙන් පෙනී සිටියාය. යාපනය නගර සභාව වෙනුවෙන් නීතිඥ කේ.වී.එස්. ගනේෂරාජන් පෙනී සිටියේය.

යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න