ව්‍යාපාරිකයකුගෙන් වාර්ෂිකව අය කළ යුතු බදු මුදල් අඩුවෙන් තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ හතරක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 375,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කරනු ලැබූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර දාසයක සිර දඬුවම් නියම කොට එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර හතරකින් ගෙවී යන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් විහාල් නියෝග කළේය.
ඊට අමතරව, විත්තිකරුට රුපියල් 20000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් තුන් ලක්ෂ හැත්ත පන්දහක මුදල දඩයක් ලෙස අය කර ගැනීමටද නියෝග කළේය.
එකී දඩය නොගෙවන්නේ නම් මාස දාහතරක අමතර ලිහිල් සිර දඬුවම් ලබාදීමටද විනිසුරුවරයා නියෝග කළ අතර, අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව විත්තිකරුට වසර හතක කාලයකට ඔහුගේ ප්‍රජා අයිතියද තහනම් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කළේය.
අල්ලස් පනතේ 29 වන වගන්ති වගන්තිය අනුව මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන වෙත ඒ බව දන්වා යවන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙකු ලෙස සේවය කළ රාජපක්ෂ මුද්දියන්සේලාගේ අනුරුද්ධ අභයරත්න නමැත්තාටයි.
නඩු පසුබිම සහ විනිසුරුගේ නිරීක්ෂණ
අනුරාධපුර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ එම විත්තිකරු 2011 වසරේදී හේමජිත් උපුල්දෙනිය නමැත්තාගෙන් එම අල්ලස් මුදල අයැදීම ඇතුළු චෝදනා හතරක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.
එම නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම් කොට තිබූ ජලීලා බේගම් නමැත්තිය වරද පිළිගැනීම නිසා 2019 වසරේදී දඬුවමට යටත්ව තිබූ අතර පලමු විත්තිකරු වරද පිළිගැනීම ගැනීම නිසා නඩු විභාගය පැවැත්වීමට අදිකරණය තීරණය කර තිබුණි.
වසර හතලිහක රාජ්‍ය සේවකයෙකු ලෙස සිය සේවා දායකයා සේවයකල බවත්, ඔහුගේ වයෝවෘද්ධභාවය, අසනීප තත්ත්වය සලකා ලිහිල් දඬුවම් නියම කරන ලෙස නීතිඥවරයා විත්තිකරු වෙනුවෙන් ඉල්ලා සිටියේය.
පොදු ජනතාව හා රජය අතර ගනුදෙනු සිදු කිරීමට අදාළ ප්‍රධාන ආයතනයක් වන මහජනතාවගෙන් බදු මුදල් අය කර ගැනීමේ ආයතනය සමඟ ගනුදෙනු කිරීමේදී ජනතාවට අත්විඳීමට සිදුවන අහිතකර ප්‍රතිඵල අනුව, විත්තිය ඉල්ලා සිටින පරිදි ලිහිල් දඬුවම් ලබා දිය නොහැකි බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එවැනි වැරදි සිදු කිරීමට අපේක්ෂා කරන අයටද පූර්වාදර්ශයක් ලබා දෙන පරිදි දඬුවම් නියම කළ යුතු බව සඳහන් කළ විනිසුරුවරයා, විත්තිකරුගේ වයෝවෘද්ධභාවය සහ අසනීප තත්ත්වය සලකා බලා වසර 16ක සිර දඬුවම් නියම කර, එය වසර හතරකින් එකවර ගෙවී යන ලෙස ලබා දෙන බව ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
