විදෙස් ගත සිසුන්ගෙන් "බදු ගන්න කතාව" බොරුවක් !

විදෙස් ගත සිසුන්ගෙන් "බදු ගන්න කතාව" බොරුවක් !

බදු ගෙවන්නන්ගේ දෑල තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ රටවල ඉගෙනුම ලබන සියලුම සිසුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් බදු ගොනු විවෘත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් ලබා දී ඇති බවත්, 
එම උපදෙස් අනුව පසුගිය වසර තුනක කාලය තුලදී විදේශගත වී ඇති සියලුම දරුවන්ගේ තොරතුරු මේ වන විට ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව තොරතුරු රැස් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සාවධ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක පළවූ අදාළ පුවත සම්බන්ධව newstube.lk  සිදුකළ විමසුමකදී  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් ඒ බව සඳහන් කළ අතර කිසිදු කණ්ඩායමක් ඉලක්ක ගත කොට ගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ආදායම් බදු ගොනු සකස් කරන්නේ නැතැයිද පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අලි හසන් මහතා මෙසේද කරුණු දැක්විය.

''වර්තමාන දේශීය ආදායම් පනත යටතේ සෑම පුද්ගලයකුගේම වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් පන් ලක්ෂයක් ඉක්මවන්නේ නම් ඔහු හෝ ඇය ආදායම් බදු ගෙවිය යුතු වනවා. පුද්ගලයන්ගේ මිලදී ගැනීම් වැනි ගනුදෙනු පිළිබඳ තොරතුරු අශ්‍රයෙන් ඔහුගේ ශුද්ධ ආදායම ලක්ෂ පහක් ඉක්ම වන්නේ යැයි සිතිය හැකි නම් එවැනි තොරතුරු මෙම දෙපාර්තමේන්තුවද ලැබූ විට ආදායම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් කරුණු විමසීමක් කරන්න පුළුවන්. 

උදාහරණයක් ලෙස පුද්ගලයකු ඉතා විශාල මුදලකට ඉඩමක් මිලදී ගැනීමක් හෝ වෙනත් දේපළක් මිලදී ගැනීමක් කළ විට එහි ගනුදෙනුව පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබුන විගස එම තොරතුරු ආශ්‍රයෙන් ඔහුගෙන් කරුණු විමසීම් කළ හැකියි.

සියලුම පුද්ගලයන් සඳහා බදුගොනුවක් විවෘත කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා නමුත් ඒ සියලු දෙනාගෙන් බදු අය කිරීම සඳහා නොව සියලු දෙනා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පමණයි. 

කරුණු මෙසේ හෙයින් ඇතැම් සමාජ මාධ්‍යවල වාර්තා වන ආකාරයට විදේශ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන්ගේ තොරතුරු එක්රැස් කිරීමක් හෝ ඔවුන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත වීමක් සිදු නොවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න