ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන් ලබාගත් ණය අහෝසියි : මංගලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන් ලබාගත් ණය අහෝසියි : මංගලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබා දී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන්  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ සංදේශයට ඊයේ  (24) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෑත කාලයේ දී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක් දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබු පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙනු ඇත. ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ණය ලබා ගත් කාන්තාවන්ට මෙම සහනය සැලසේ.

අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේ දී ලබා දෙනු ලබන  සියලු ණය වෙනුවෙන් පොලිය 30%ක උපරිමකට යටත් කිරීමට ද රජය විසින් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබා දී ඇති පාරිභෝගික නොවන ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙලෙස කපා හැරෙනු ඇත.

මෙම ණය සඳහා අය විය යුතු පොලිය අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය මගින් කපා හැරිය යුතු වේ.

ක්ෂුද්‍ර  මූල්‍ය ආයතන මගින් ලබා දුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩගාරය මගින් අදාළ ආයතන වෙත ප්‍රතිපූර්ණය කරනු ලැබේ. එම මුදල් ආපසු ගෙවීම සඳහා රුපියල් මිලියන 500ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ඇත.

මෙම ණය සහනලාභීන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට තීරණය කර ඇති අතර එම ණය ගෙවීම සඳහා වසර 2ක සහන කාලයක් ද හිමි වේ.

මීට අමරතව සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක වන ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන්වල දී ද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛතාව හිමි වනු ඇත.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගෙයින් ගෙට ගොස් සුරැකුම් හා කොන්දේසි නොමැතිව ණය ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ලබන අතර ඔවුන් විසින් මේ සඳහා 40% සිට 220% දක්වා වාර්ෂික පොලියක් අය කරනු ලබයි. මෙසේ ලබා ණය ගැනීමේ දී වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ගනු ලබන බහු ණය සඳහා ලබා ගත් මූලික ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය වශයෙන් ගෙවීමට ණයලාභීන්ට සිදුවේ.

එහෙයින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ඉදිරියේ දී දෙනු ලබන සියලු ණය සඳහා අය කරනු ලබන පොලිය සඳහා 30%ක උපරිම සීමාවක් පනවා ඇති බැවින් ක්ෂුද්‍ර මූල්‍ය ණයලාභීන් ණය උගුලක හසු වීම වැළැක්වීමට මෙය රජය විසින් ගනු ලැබූ කාලීන පියවරකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න