Language Switcher

V2025

මන්නාරම, ඩුබායි කරන්න පුළුවන් - පාඨලී 

මන්නාරම, ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මන්නාරම නගරය සහ මන්නාරම ප‍්‍රාදේශීය සභා 5 සඳහා විධිමත් නාගරික සැලසුමක් ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා  මෙම අදහස් පළ කරේ මන්නාරම බස්නැවතුම්පල ඉදිකිරීම් ආරම්භ කරමින් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. 
අමාත්‍යාංශයේ උපදෙස් මත උතුරු පළාත් පොදු ප‍්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර වැඩසටහන යටතේ රුපියල් මිලියන 180 ක වියදමින් මෙම බස්නැවතුම්පල ඉදි කිරීමට නියමිතය. මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර, අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘විශේෂයෙන්ම ඉන්දියාවේ කැලිකට්, වර්තමානයේ කොච්චිකඬේ යනුවෙන් හඳුවන්නේ. ඒ කැලිකට් වරායත්, මාන්තොටත්, බේරුවල වරායත් මේ කලාපයේ තිබූ ප‍්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. ඒ වගේම මන්නාරම ලෝකයේ ප‍්‍රචලිත උනේ මුතු පරය නිසා. බි‍්‍රතාන්‍ය යුගයේදී විදේශ රටවලින් පැමිණි 4,000 කට අධික ප‍්‍රමාණයක් මන්නාරමේ මුතු කැණීම් කළ කාලයේ සිටි බව ලෙනාඩ් වුල්ෆ් මැතිතුමාගේ චාරිකා සටහන්වල සඳහන් වෙලා තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ මුතු බටහිර රටවල්වල රාජකුමාරිකාවන්ගේ, රැජිනියන්ගේ ආභරණ ගබඩාවල අදත් දැක ගන්න පුළුවන්. අධික වශයෙන් බි‍්‍රතාන්‍ය යුගයේදී මුතුපර හෑරීම නිසා ඒ සම්පත අහිමි වී ගියා.  ඒ වගේම ඒ මුතුවලටත් වඩා වටින අතිවිශාල සම්පත් දෙකක් මේ මන්නාරමේ සැඟවී තිබෙනවා. 2011 සැප්තැම්බර් මාසයේදී මන්නාරම නගරයේ ඉඳන් කි.මි.32 ක් මුහුදෙන් අපි සොයා ගත්තා ගෑස් සහ තෙල් සහිත බැරි කියුඩා සහ ඩෙරිඩා කියලා ලිං දෙකක්. එම තෙල් ලිං දෙකත් ගෑස් ලිඳත් තවම තිබෙනවා. 1970 ගණන්වල පේසාලෙනුත් මතුවී තිබුණ. නමුත් මෙවර ඉතා ස්ථිර සාධක සහිතව එම ලිං කැනලා එය ලබාගන්න 2011 දී හැකියාව ලැබුණා.

එදා විදුලිබල හා බලශක්ති ඇමති හැටියට යුද්ධය ඉවරවනවාත් සමගම අපේ ප‍්‍රධාන විදුලි පද්ධතිය මේ මන්නාරමට ගෙන ආවා. විදුලි බලමණ්ඩලයේ මධ්‍යස්ථානයක් සාදා සෑම ගමකටම විදුලිය ලබාදුන්නා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ සුළං බලය විදුලි ශක්තිය ගැන බැලූවහම ලංකාවටම දෙන්න තරම් විදුලි ධාරවක් තිබෙන ප‍්‍රදේශයක්. මේ සම්පත් දෙක අපට කළමනාකරණය කර ගන්න පුළුවන් නම්, වතුර නොමැති වුවත් වෙනත් ගැටළු ගොඩක් තිබුණත්, මේ නගරය ඩුබායි නගරයටත් වඩා සාර්ථක නරගයක් කර ගන්න අපට අනාගතයේ හැකියි.
 
ඒ වගේම අපේ නාගරික සංවර්ධන අධිකාරිය මන්නාරම් නගරය සඳහා විධිමත් නාගරික සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ වගේම මන්නාරම් දිස්ත‍්‍රික්කයේ තිබෙන ප‍්‍රාදේශීය සභා 5 වෙනුවෙන්ම අපි නාගරික වැඩසටහන් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම අල්පතාර් ප‍්‍රදේශයේ කී‍්‍රඩාංගනයක් කර අවසන් කර තිබෙනවා. නමුත් එහි ආලෝකය සපයන්න සහ තවත් කාරණා කිහිපයක් මුල්කරගත් ඉල්ලීමක් අපේ ගරු මන්ත‍්‍රීතුමා කළා. ඒ අනුව අපි එය කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පල්ලෙමුණේට තවත් ක‍්‍රීඩාංගනයක්, සිලාවතුර නගර මධ්‍ය දියුණු කරන්නත්, පේසාලේ වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරන්න. ඒ වගේම මන්නාරමේ ස්වභාවික උද්‍යානයක් හැටියට වැඩිදියුණු කරන්න මේ වසරේ අපි දැනටමත් යෝජනා කර තිබෙනවා. පසුගිය අයවැයෙන් මිලියන 250 ක පමණ මුදලක් මේ ප‍්‍රදේශය සංවර්ධනය සඳහා ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම පළාතේ ජනතා නියෝජිතයන් සමග සාකච්ඡා කර යෝජනා ලබාගෙන මෙම ප‍්‍රදේශයේ දියුණුව ඇති කරන බව කිව යුතුයි.
 
විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමා බලයට ගෙන එන්න, මේ රජයට ජනවරම දෙන්න මන්නාරම් දිස්ත‍්‍රික්කයේන් විශේෂ ශක්තියක් ලැබුණා. මෙම ප‍්‍රදේශය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීතුමන්ලා විපක්ෂයේ සිටියත්, වෙනත් දේශපාලන පක්ෂවල සිටියත් අපේ ආණ්ඩුවේ වෙනස තමයි ඒ ඒ පක්ෂ දේශපාලන බේදයකින් තොරව ඒ සියළු දෙනාගේම යෝජනා රැගෙන අලූතින් පත්වෙලා සිටින නගර සභා, ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරුත්, නගරාධිපතිවරුත් සමග එකට මන්නාරම් දිස්ත‍්‍රික්කය එකමුතුව දියුණු කිරීම තමයි අපේ ප‍්‍රාර්ථනය.

ඉතිහාසයේත් ඉතාම වැදගත් ස්ථානයක් වූ මන්නාරම අනාගතයේදී බලශක්තිය පැත්තෙන්, සංචාරක පැත්තෙන් මෙන්ම ඉතාම වැදගත් ආගමික මධ්‍යස්ථාන ගණනාවක් මෙහි පිහිටා තිබෙනවා. අද ඒ ආගමික සමගියත් මෙහි ඇතිවී තිබෙනවා. අපේ චිර ප‍්‍රසිද්ධ ප‍්‍රධාන හින්දු කෝවිලක්, ඒ වගේම ප‍්‍රධාන මාන්තොට පැරණි රජමහා විහාරයත්, මඩු දේවස්ථානය මෙන්ම ඉස්ලාමීය පල්ලි මේ යනාදි වශයෙන් වැදගත් ආගමික ස්ථාන ගණනාවක් සමග සහජීවනයේ සංඛේතයක් හැටියට මෙරට නැවතත් අඳුරු යුගයකට රැගෙන යන්නේ නැතිව ආලෝකයේ යුගයට රැගෙන යාමට මේ මන්නාරමේ ගොඩනැගෙන බස් නැවතුමෙන් ඔබ්බට මේ නගරයත්, මේ සමාජයත් අපි එකමුතුව ඉදිරියට ගෙනයන ලෙසින් ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’  යැයි පැවසීය.