Language Switcher

V2025

ශිරන්ති චීන බඩු සිරිලියට අරන් : පරීක්ෂණයක් නැහැ !

චීන කාන්තා සම්මේලනය විසින් සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සඳහා පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂ 85ක් වටිනා පරිගණක යන්ත්‍ර හා මහන මැෂින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ ‘සිරිලිය සංවිධානය’ නමින් බෙදාහැරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් මෙතෙක් අදාළ පරීක්ෂණය සිදු කර නොමැති බව වාර්තාවේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙත අදාළ පරීක්ෂණය සිදු කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව 2013 -01 - 15 දින දැනුම් දී ඇත.

2011.11.04 දින මහජන චීන රාජ්‍යයේ එවකට තානාපතිවරයා ලෙස කටයුතු කළ කරුණාතිලක අමුණුගම මහතා ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාගෙන් ලිඛිතව කරන ලද විමසීමක දී අදාළ පරිගණක හා මහන මැෂින් පිළිබඳ සඳහන් කර ඇති අතර එම භාණ්ඩ ශ්‍රී ලංකා රජය වෙත භාරදිය යුතු වුවත් ඒවා භාරදී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මෙහෙය වන ලද සිරිලිය සංවිධානයටය.

මීට අමතරව චීනයේ ප්‍රධාන පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ආර්.සී.එල්.වෑන් මහතා විසින් සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට පදිංචි වීම සඳහා පරිත්‍යාග කරන ලද තාවකාලික කූඩාරම් ද එම පළාත්වල කුඩා දරුවන් සඳහා පරිත්‍යාග කළ කූඩ 20000ක් ද චීනයේ බීජිං නුවර පරිත්‍යාගශීලීන් විසින් ශ්‍රී ලංකාවේ පිළිකා රෝහල් සංකීර්ණයට පරිත්‍යාග කරන ලද රුපියල් 2,297,500ක මුදලද බෙදා දී ඇත්තේ සිරිලිය සංවිධානයේ පරිත්‍යාග ලෙසිනි.