වත්මන් තරුණ පරපුරේ ආදර්ශය විය යුත්තේ මාර්ක් සකර්බර්ග්, රොබින් ලියුලා මිස තවදුරටත් කාල්මාර්ක්ස්, චේගුවේරා, පිදෙල් කැස්ත්‍රෝලා නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඒ තරිඳු දිලීප ගමගේ විසින් රචිත ‘යොවුන්මග’ කෘතිය එළිදැක්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
තරුණ කමත්, නිර්මාණශීලීත්වයත් ඉදිරියට ගැනීම සම්බන්ධ කාරණය අද අප රටේ ප‍්‍රධානම දේශපාලන අභියෝගය බවට පත්ව ඇති බවත් ලෝකයේ තාක්ෂණය සමග සමාජමය හා ආර්ථිකමය වශයෙන් ඉදිරි පිමි පණිමින් සිටින පසුබිමේ යල් පැණ ගිය දේශපාලනය වෙනුවට සුහුරු නව අදහස් ඇති තරුණ දේශපාලනයක් රටට අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
තවද මානව සංහතියට දැන් උදා වී ඇත්තේ 5G නොහොත් 5th Generation යුගයක් වුවත් අවාසනාවට රටේ දේශපාලනය ඇත්තේ ඍණ 5G යුගයක නැතිනම් රටේ සමස්ථ දේශපාලනය තවමත් සිටින්නේ 1980 දශකයේ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. ‘මෙරට හුඟක් ක්‍ෂෙත‍්‍ර අද ප‍්‍රජාතන්ත‍්‍රකරණය වෙලා නිදහස් වෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ දේශපාලනය තවමත් විලංගු දාලා තියෙන්නේ. එය වෙනස් කර ගැනීමට දැන් කාලය එළඹ තිබෙනවා. මේ රටේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රය, ඉංජිනේරු, වෛද්‍ය, ගණකාධිකාරීන් වැනි වෘත්තීයවේදීන්, රාජ්‍ය සේවය, යුධ හමුදා සේවාව වැනි ආරක්‍ෂක සේවා, ක‍්‍රීඩා කළා ක්‍ෂෙත‍්‍ර ගත්තත් අද නිදහස් තරඟයට ඉඩ තිබෙනවා. නිර්මාණශීලීත්වය මගින් ඉදිරියට ඒමට ඉඩ ලැබී තිබෙනවා.
වෙළඳපොල ආර්ථික තර්කය හරියට තේරුම් ගමු !
මේ වෙළඳපල ආර්ථිකයේ ප‍්‍රධාන තර්කයක් තමයි නිදහස් තරඟයෙන්, නිර්මාණශීලීත්වයෙන් පැරණි දෑ පසුකර අලූත් දෑට ඉදිරියට එන්න තිබෙන ඉඩකඩ වැඩිය කියන අදහස. වෙළඳපල ඇතුලේ අලූත් දෑඉදිරියට ඇවිත් පැරණි දෑ පසුපසට ගිහින් අලූත් දෑ ජයග‍්‍රහණය කරනවා. එය අද මෙරට සෑම ක්‍ෂෙත‍්‍රයකම දැක බලා ගන්න පුළුවන්. නමුත් දේශපාලනයේ පමණක් පරණ බොල් පවුල්වාද, සම්ප‍්‍රදායික පාසල්වාද, ප‍්‍රභූවාද තවමත් රඟ දෙනවා. එනිසා මේ සමාජයේ සෑම ක්‍ෂෙත‍්‍රයකම ඉදිරියට ගිය තරුණකමත්, නිර්මාණශීලීත්වයත්, කුසලතාවයත් ඉදිරියට ගැනීම තමයි අද අපේ රටේ තිබෙන ප‍්‍රධාන දේශපාලන මෙහෙයුම. එහෙම නැතිව ව්‍යවස්ථාවක් අලූතෙන් තැනීමවත්, උතුරේ ජනතාවට ස්වයං නීර්ණ අයිතිය දෙනවාද නැතිද කියන එක ගැනවත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාද නැත්ද කියන එක ගැනවත් නෙමෙයි අද ලංකාවේ තිබෙන ගැටළුව. ලංකාවේ තිබෙන ගැටළුව තමයි කුසලතාවයට මුල්තැන දී පැරණි සම්ප‍්‍රදායික බලවේග දේශපාලන වේදිකාවෙන් බහිනවාද, නැතිනම් මෙරට ජනතාව විසින් බස්සනවද කියන එකයි උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් අද අපේ රටේ තිබෙන ප‍්‍රධාන ගැටළුව.
ලංකාවේ " ඉසෙඞ්" පරපුර කෝ !
ඒ වගේම අද තරුණයා පිළිබඳ තිබෙන අර්ථ දැක්වී සෑහෙන ගැටළුකාරී දෙයක් වී තිබෙනව. අද සාමාන්‍යයෙන් ලංකාවේ වැසියෙක්, අවුරුදු 80 ක් පමණ ජීවත් වෙනවා. මෙය ලෝකයේ හොඳ සම්මත තත්වයක්. අපට වඩා දීර්ඝ ආයු කාලයක් තිබෙන්නේ ජපානයේ විතරයි ආසියාතික රටවල් අතරින්. අපි හොඳ සෞඛ්‍යය සම්පන්න ජාතියක් හැටියට එම ශක්තිය ලඟාකරගෙන තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ සාක්ෂරතාවය පැත්තෙන් ගත්තත්, පරිගණක සාක්ෂරතාවය පැත්තෙන් ගත්තත්, ඉතාම උගත් ජනතාවක් වාසය කරන රටක් මේ රට. සමාජවාදී යැයි කියන රටවල්වලට වඩා බලගතු නිදහස් අධ්‍යාපනයක් අපට තිබෙනවා. මේ තත්වයත් සමග අද හුඟක් දුරට අද තරුණ පරම්පරාව කියන එක ගත්තහම වැඩිහිටියොත් තරුණ වෙන්න දඟලන තත්වයක් අපට දැක ගන්න පුළුවන්. ඒ අතරේ ලෝකයේ අලූත් පරම්පරාවක් ඇවිත් තිබෙනවා එය තමයි ඉසෙඞ් පරම්පරාව කියන එක. ඒ කියන්නේ වසර 2000න් පසු උපත ලැබූ පරම්පරාව. ලෝකයේ හැම තැනකම මේ ඉසෙඞ් පරම්පරාව සංවිධානය වෙමින් යනවා බලය අල්ලන්න. මේ පරම්පරාවේ ලොකු වෙනසක් තිබෙනවා. මේ පරම්පරාව ගහකොළ, සතා සිව්පාවා කිසි දෙයක් දැකලා නැහැ. මේ අය ගෙවල්වල හැදිච්ච පරිගණකය ඉදිරිපිට, පරිගණක ක‍්‍රී‍්‍රඩා කළ, ස්මාර්ට් ෆෝන් එකේ ජීවත්වන පිරිසක්. මේ අය ෆේස්බුක් පරම්පරාව. මේ පරම්පරාව අනෙක් පරම්පරාව හිතනවට වඩා වෙනස් විදිහට හිතන්නේ, වෙනස් විදිහට කි‍්‍රයා කරන්නේ. එය සමහර රටවල දකින්නේ දේශපාලන අභියෝගයක් ලෙසයි. සමහර අය දකිනවා මෙය පාලනයක් කළ යුතු දෙයක් හැටියට. නමුත් මෙය දේශපාලන අවස්ථාවක් හැටියට ගෙන මේ පරම්පරාවට ගැලපෙන රටක් හදන එක තමයි ඉදිරිකාලයේදී අපේ වගකීම වෙන්නේ.
ඊළඟ යුගය නිර්මාණය කරන්නේ දේශපාලන සටන්කරුවන් නොවේ !
මේ යුගය අලූත් කාරණාවලින් සීග‍්‍රයෙන් වෙනස්වන යුගයක්. අද ලෝකයේ වාණිජ ව්‍යාපාර දිහා බැලූවහම ඒවා බොහොමයක් තරුණයින්ගේ නව අදහස් වලින් මතු වූ ඒවා. අපි දැනගෙන හිටියේ නැහැ මීට දශකයකට කලින් වෙන දේවල් ගැන. ඊළඟ දශකයේ නිර්මාණය කරන්නේ සර්ජිලා, එහෙම නැත්නම් සකර්බර්ග්ලා මිස දේශපාලන සටන් කරුවන් නොවෙයි. නමුත් කණගාටුවට අද අපේ රටේ විශ්ව විද්‍යාල ඇතුළු අනෙක් පිරිස් තවමත් ඉතාම පසුගාමී යුගයක ඉන්නේ. මේ රටේ මහා විප්ලවයක් කළ කෙනා තමයි සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමා. එතුමා මේ නිදහස් අධ්‍යාපනය ගෙන ඒම මෙරට පමණක් නෙමෙයි ලෝක පරිමාවෙන් ගත්තත් මහා විප්ලවයක්. එතුමාට සියළුම ප‍්‍රභූවරු විරුද්ධ උනා එම කටයුත්ත කිරීමේදී. එතුමාව මැතිවරණයෙන් පරාජය කරන්න සියළු දෙනා සහභාගී උනා. එතුමාට සිදුවුණා කථානායකතුමාට ලිපියක් ලියන්න විශ‍්‍රාම වැටුපක් ලබාදෙන ලෙස ජීවත්වීමට. නිදහස් අධ්‍යාපනයේ පියත් මන්ත‍්‍රීවරයෙක් හැටියට ඉතාම අසරණ ජීවිතයක් අවසන් කාලයේ ගතකරපු බව නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ සියළු දෙනාම මතක තබා ගත යුතුයි.
විශ්වවිද්‍යාල ප‍්‍රජාවගේ පෙළපාලිවල කවුද ඉන්නේ?
නමුත් විශ්වවිද්‍යාල ප‍්‍රජාවගේ පෙළපාලිවල කවුද ඉන්නේ, පිදෙල් කැස්ත්‍රෝ, කාල්මාක්ස් මිස මේ කිසි කෙනෙක් තමන්ට මේ තැන හදලා දීපු සී.ඩබ්.ඩබ්. කන්නංගරයන්ට ඒ තැන ලබාදෙන්නේ නැහැ. ඔය ලොකු සමාජවාදී රටවලට ගියහම ඒ අයත් පුදුම වෙනවා ලංකාවේ උසස් අධ්‍යාපනයත්, උපාධි අධ්‍යාපනයත් නොමිලේ ලැබෙනවාද කියලා. අද මේ රටේ සමාජයේ විප්ලවයක් උණා නම් ඒ විප්ලවයේ ප‍්‍රධාන නිහඬ නියමුවා තමයි කන්නංගර මැතිතුමා.
මම ඉල්ලීමක් කරනවා මෙරට තරුණ පරම්පරාවෙන්, අපේ අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා වැනි තරුණ පිරිස්, ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එදා තරුණයෝ හැටියට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ගොඩනැගෙන්න තමන්ටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න මහැඟි මෙහෙයක් ලේ වැගිරීමකින් තොරව අවිංහිසාවාදීව සිදු කළා. එය අපට ලැබුණු විශාල ආදර්ශයක්. මහත්මා ගාන්ධි ඉන්දියාවේ වෙනසක් කළාට වඩා බලගතු වෙනසක් ලංකාවේ අපේ ජාතික නායකයෝ සිදු කළා. ගාන්ධි මැතිතුමාට ඉන්දියාව බෙදන එක නවතන්න බැරි උනා. ඉන්දියාවේ කුල භේදය පාලනය කරන්න බැරි උනා. කාන්තාවට ඉදිරියට එන්න තිබෙන අවකාශය පුළුල් කරන්න බැරි උනා. මේ මූලික කරුණු තුනම ඉටු කරන්න මහත්මා ගාන්ධිට බැරි උනත් අපේ ජාතික නියමුවෝ ඒ මූලික කරුණු තුනම ජයග‍්‍රහණය කළා. එය අපට විශාල ශක්තියක් ආදර්ශයක්.
අපේ තරුණ පරපුරේ, අපේ ජනතාවගේ ආදර්ශය වියුත්තේ මේ මාර්ක් සකර්බර්ග්ලා, සර්ජි ග‍්‍රිම්ලා එහෙමත් නැත්නම් චීනයේ බයිඩූ කියන සර්ච් ඇන්ජින් එක හදපු රොබින් ලියුලා මිස තවදුරටත් මේ කාල්මාර්ක්ස්, එංගල්ස්, පිදෙල් කැස්ත්‍රෝලා, චේගුවේරලා නෙමෙයි. ඒ අය තමයි අපේ ආදර්ශය විය යුත්තේ. අපි අතීතයේ ජීවත් විය යුතු නැහැ. අනාගතය කරා යන අපේ අනාගත ආදර්ශය විය යුත්තේ රටවල් ලෝකය වෙනස් කළ අයයි. ඒ නිසා ඒ නව තාක්ෂණ නවෝත්පාදන ලෝකයට ගැලපෙන රටක් සමාජයක් දේශපාලන නායකත්වයක් ඇතිකරගත යුතු යැයි ද සඳහන් කළේ ය.

