ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න විසින් දේශපාලන කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මෙම චෝදනාව එල්ලකර සිටියේ ඇඹිලිපිටිය විහාරස්ථානයක පසුගිය 27වනදා පැවති පුණ්‍යෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා ඇතිවූ තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.
ඇඹිලිපිටිය, හීන්දළුක්හින්න වනවාසල නාග විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවී චමල් රාජපක්ෂ මහතා පැමිණීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
එහිදී චමල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරදුන් අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාරය ගැන උත්සවයේ සංවිධායකයෝ දැඩි අප්‍රසාදයක් පළ කළහ.
එසේම උත්සව සංවිධාන කමිටුව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සමඟ දුරකථන සංවාදයේ නිරතවූ අය එහිදී සඳහන් කර සිටියේ "තමන්ට ජන්ද දායකයින් කියන විදිහට නටන්න බැරි බවත් තම තීරණය පිළිගන්න අනෙක් අය සූදානම් වියයුතු බව" මහින්ද රාජපක්ෂ සඳහන් කරන බවය.හිටපු ජනාධිපතිගේ මේ නොහික්මුණු ප්‍රතිචාරය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බලවත් අප්‍රසාදය පළකර ඇති බවත් පෙබරවාරි 10 ජන්දයේ ප්‍රතිඵලය මත මුල අමතක රාජපක්ෂලාට පාඩමක් උගන්වන බවත් එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ට දන්වා ඇත.
වාර්තා වන ආකාරයට මේ ජනතා අප්‍රසාදය පාලනය කිරීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට දන්වා ඇති අතර අදාළ මාධ්‍ය හමුව කැඳවා ඇත්තේද ඒ අනුවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එජාපය වැටෙන්නට නොදී රැක ගැනීම පවිත්‍රා වන්නිආරච්චි මන්ත‍්‍රීනියට හා ඇගේ සැමියාගේ කුමන්ත්‍රණයේ අපේක්ෂාව වී ඇති බවය.
රත්නපුර මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනෙකුගේ සහයෝගය ලබා ගත හැකිව තිබියදී එජාප මන්ත‍්‍රීන් 10 දෙනෙකු හා පොහොට්ටුවේ මන්ත‍්‍රීන් 03ක් එක්ව නගරාධිපති පොහොට්ටුවෙන් හා උප නගරාධිපති එජාපයෙන් පත් කිරීමේ මෙහෙයුමද එහිදී මන්ත්‍රීවරයා සිහිපත්කර සිටියේය.
කෙසේ වුවත් චමල් රාජපක්ෂ මහතා මෙවැනි අපහසුතාවයකට පත්වන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව නම් කල යුතු බවට ඒකාබද්ධයේම නායකයින් ප්‍රසිධියේ ප්‍රකාශ කරමින් සිටියදීය. මේ සම්බන්ධව චමල් රාජපක්ෂට හිතවත් ඒකාබද්ධ විපක්ෂයේ කොටස් සඳහන් කර සිටින්නේ මෙම ක්‍රියාව පිටුපස ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සිටින බවත් මහින්ද හැර වෙනත් කිසිවෙකුට ජනතා ප්‍රසාදයක් නොමැති බව පෙන්වීම සඳහා හිතාමතා මෙය සැළසුම් කරනු ලැබුවක් බවට පැහැදිළි සැකසංකා මතුවන බවය.

