හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය අගෝස්තු මස 21 වන දා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කරයි.
අදාළ නඩුව අද (10) විමසු අවස්ථාවේ විනිසුරුවරයා මේ බව සඳහන් කර ඇති අතර එතෙක් එම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියම කර තිබේ.
ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ අල්ලස් පනතේ 78.2 වගන්තිය ප්‍රකාර අල්ලස් නඩුවක් ඉක්මනින් විභාග කොට අවසන් කළ යුතු බවට ප්‍රතිපාදන පනවා ඇති බව කියා සිටියත් මෙම නඩුවේ විභාගය ප්‍රමාද වන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසය.
එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බවය.
ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන්ද අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව නියම කර ඇත.
මෙම සැකකරුවන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වූයේ කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබාගනිමින් සිටියදීය.

