නීති අර්බුදයක ආණ්ඩුව හිරවේ : හකීම් මනෝ මහින්ද හමුවෙති

නීති අර්බුදයක ආණ්ඩුව හිරවේ : හකීම් මනෝ මහින්ද හමුවෙති

පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය අර්බුදයක ආණ්ඩුව සිරවී සිටී. පළාත් සභා ඡන්ද පැවැත්වීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්ෂ නායක රැස්වීම 4 වන වතාවටත් පසුගිය බ්‍රහස්පතින්දා (09) රැස්වූ අතර එය අවසන් වී ඇත්තේද නිශ්චිත විසඳුමකින් තොරවය.

ඊට එකතු වූ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන් නව මිශ්‍ර ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බව සුපුරුදු පරිදි ප්‍රකාශ කර ඇති අතර, එජාප නියෝජිතයන් පවසා ඇත්තේ පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බවය. අමාත්‍ය රවුෆ් හකීම් නායකත්වය දරන මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි පෙරමුණද පැරණි ක්‍රමයට කැමැත්ත පළකර ඇති අතර දෙමළ ජාතික සන්ධානයද ඊට සමාන මතයක් ඉදිරිපත් කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පවසා ඇත්තේ කුමන ක්‍රමයකට හෝ කඩිනමින් පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවය. ජවිපෙ ප්‍රතිපත්තියක් ලෙස නව ක්‍රමය අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතත්, කුමන ආකාරයෙන් හෝ ඡන්ද පැවැත්වීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

නව මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්වීමට නම් සීමා නිර්ණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කර තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත යුතුය. එහෙත් නව ක්‍රමයට එරෙහි වන්නන්ගේ ඡන්ද නොමැතිව තුනෙන් දෙක ලබාගැනීමේ හැකියාවක් නැත. පැරණි සමානුපාතික ක්‍රමයට යළි යන්නේ නම් එයද පනතක් ලෙස තුනෙන් දෙකේ බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතුය. එහෙත් පැරණි ක්‍රමයට විරෝධය දක්වන ශ්‍රීලනිප ඡන්ද නොමැතිව එය කර ගැනීමට නොහැකිය.

මේ අතර පළාත් සභා ඡන්ද පිළිබඳව කතා කිරීමට මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා දෙමළ ප්‍රගතශීලී පෙරමුණෙහි නායක මනෝ ගනේෂන් අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා (09) ඒකාබද්ධ විපක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. පළාත් සභා ඡන්දයට අමතරව දේශපාලන තත්වය පිළිබඳවද එහිදී අදහස් හුවමාරු වූ බව දැනගන්නට ඇතත්, සාකච්ඡා වූ සියළු කරුණු පත්‍රයේ මුද්‍රණයට යනවිට නිශ්චිතව අනාවරණය වී තිබුණේ නැත.

රාවය.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න