සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යටතේ සිංගප්පූරුවේ කසළ මෙරටට ගෙන්වීම හෝ මෙරට කසළ එරටට යැවීම කිසිසේත් සිදු නොවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
2005 දී ජනාධිපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු 2005 දී කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත් පකිස්ථාන් ශ්‍රී ලංකා ගිවිසුමට මිනිස් අපද්‍රව්‍ය, නගර සභා කුණු, ප්ලාස්ටික්, සායනික අපද්‍රව්‍ය ආදී අපද්‍රව්‍ය සියල්ල ම ඇතුළත්ව තිබූ බවද, එහෙත් ඒ කිසිවක් මෙරටට ගෙන්වීම හෝ මෙරටින් පිට කිරීම සිදුනොවූ බව ද කී රාජ්‍ය ඇමැතිවරයා, මෙවර ද එය සිදු නොවනු ඇතැයි ද කීවේය.
එසේම, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මෙතෙක් පැවැති කුණු ආනයනය හා අපනයනය වෙනස් වූ බව කීම සම්පූර්ණයෙන් ම වැරදි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
'මේ දවස්වල කතාවෙන මූලික කාරණාවක් තමයි සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මේ රටට කුණු ජරාව ගෙන්වන්න පුළුවන් කියලා. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මෙතෙක් පැවැති කුණු ආනයනය හා අපනයනය වෙනස් වුණා කියන එක සම්පූර්ණයෙන් ම වැරදියි. ඒකම දේ ඒ කුණු මොනවා ද කියන එක ලැයිස්තු ගත කර තිබෙනවා. ඒ ලැයිස්තුව ප්‍රසිද්ධ කරලා තිබෙනවා. මේ ලැයිස්තු ප්‍රසිද්ධ වෙන්නේ ගිවිසුමක් ඇතුලේ. උදාහරණයක් විදිහට 2005 දී ජනාධිපතිවරණයට පෙර පැවැති මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා මුලින් ම අගමැති ධුරයට පත්වීමෙන් පසු එතුමා 2005 දී කැබිනට් එකෙන් අනුමත කර ගත් පකිස්ථාන් ශ්‍රී ලංකා ගිවිසුමේ නගර සභා කුණු තිබෙනවා.
මම ඉතාමත් ම වගකීමෙන් කියන්නේ නගර සභා කුණු, ප්ලාස්ටික් කුණු, මිනිස් අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය, ටන්ග්ස්ටන් ආදී මේ සියල්ල ම එයට ඇතුළත්. එතකොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ කැබිනට් එකෙන් අනුමත කළ කුණු පරාසය අනුව පකිස්ථානය ඒ රටේ කුණු මෙරටට එවලත් නෑ, අපේ කුණු එහෙට යවලත් නෑ. සිංගප්පූරු ගිවිසුමෙත් මේක කිසිම විදිහකට වෙනස් වෙලා නෑ. සිංගප්පූරුවේ ඉන්න මිලියන පහේ කුණු ලංකාවට ගේනවා කියලා කාටහරි කියන්න පුළුවන්. ඒත් ගේන්න බෑ. ලංකාවේ ඉන්නවා මිලියන විස්සක්. එහෙනම් අපේ තිබෙන කුණු ඔක්කෝම ඩියුටි ෆ්‍රී යටතේ සිංගප්පූරුවට ගෙන යන්න පුළුවන් මේ යටතේ. ඒ රටේ කුණුවලට බදු නෑ. ඒත් සිංගප්පූරුව ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම තමයි අපි ඉඩ දෙන්නෙත් නෑ. බදුවලින් මේ වගේ දේවල් පාලනය කරන්න බෑ. බදු නොවන අනෙකුත් සම්බාධක මෙහි තිබෙනවා.
ඒවා ලෝකයේ ගැට් එකඟතාව යටතේ එකඟ වෙලා තිබෙන කාරණා. ගැට් ආරක්ෂාව යටතේ එන ඒ කරුණු අනුව ලංකාවේ කුණු එහෙට ගෙන යන්නත්, එහේ කුණු මෙහාට ගෙන්වන්නත් බෑ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට මම කියන්නේ කරුණාකරලා මේවා ගැන අධ්‍යයනය කරන්න කියලයි. ඒ වගේම, ගෝමි සේනාධීර මහතා දක්වා තිබෙන කාරණා ගැන නිලධාරීන් ඉදිරියේ දී පුවත්පත් නිවේදනයක් නිකුත් කරයි. නමුත් මේ කුණු ප්‍රශ්නය දැන් දේශපාලනීකරණය වෙලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා පකිස්ථානය සමඟ එදා අස්සන් කළ ගිවිසුමෙන් මිනිස් අපද්‍රව්‍ය, නගර සභා අපද්‍රව්‍ය ගෙන්වන්න පුළුවන් කියලා දක්වලා තිබුණා. එසේනම් ඔවුන්ට එදා තිබුණා මේවා අස්සන් නොකර ඉන්න. 2005 නොවැම්බර් මාසේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අවස්ථාව තිබුණා මේවා අයින් කරන්න. ඒත් එහෙම කළේ නෑ. මේ කතා කරන පුද්ගලයා එදා හිටියා. ඒ අය තමයි අද මේ හදිසියේ කියන්නේ හරියට ලෝකයේ පළමුවෙනි වතාවට මේ වගේ දෙයක් ගිවිසුමකට ඇතුළත් කළා වගේ. මම නැවතත් කියනවා එහෙම කිසිම දෙයක් වෙලා නෑ කියලා'

