2009 වසරේ සිට ශ්‍රී ලංකාවට හිමිවිය යුතු විදේශ විනිමය ඉවක් බවක් නොමැතිව විදෙස් රටවල සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සාමාන්‍ය අලෙවි ඒජන්තවරුන් (General Sales Agents) අතට පත්වී තිබෙන බවට පසුගිය 21 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය වී ඇත.
මීට අදාළ ලේඛන රැසකින් එම කරුණු තහවුරු වී ඇති බවද වාර්තා වන අතර මෙසේ එතෙරට ඇදී ගිය විදේශ විනිමය ප්‍රමාණය සම්බන්ධව තක්සේරුවක් කිරීමට සහ වැඩිදුර කාරනා අනාවරණය කර ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අදාළ අංශ කොමිසම හමුවට ඉදිරියේදී කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි.
අදාළ ඒජන්තවරුන්ට ගිවිසගත් ප්‍රතිශතවලට වඩා ඉහළ ප්‍රතිශතයකින් මුදල් ගෙවීම් සිදුකර තිබෙන බවත් සමහර ඒජන්තවරුන් තම සේවා කටයුතු අරඹා දින කිහිපයකින් අදාළ ඉහළ ප්‍රතිශත ගෙවා තිබෙන බව එම ගුවන් සේවාවේ කළමනාකාරිනී (කාර්මික සේවා) ශිරෝමි කුරේ මහත්මිය කොමිසම ඉදිරියේ ලේඛන ඉදිරිපත් කරමින් පෙරේදා ලබාදුන් සාක්ෂි මඟින් අනාවරණය වුණි.
රජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතා සාක්ෂිකාරියගෙන් කරන ලද විමසීම් හමුවේ සාක්ෂිකාරිය සීෂෙල්ස්, ඩුබායි, තායිලන්තය, සිංගප්පූරුව, පාකිස්තානය, රුසියාව, මැලේසියාව, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව යනාදී රටවල සාමාන්‍ය අලෙවි ඒජන්තවරුන්ට අදාළ ලේඛන ඉදිරිපත් කරමින් සාක්ෂි ලබාදුන්නාය. තවත් රටවල් කිහිපයක් ඒජන්තවරුන් පිළිබඳව අද (23) සාක්ෂි ලබාදිමට නියමිතය.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් සහ විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් වසන්තා ගීගනගේ මෙනෙවියගෙන් හෙබි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලන්කන් කේටරින්, මිහින්ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂිකාරිය සාක්ෂි දුන්නාය. රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා කොමිසමට සහාය දැක්විය.

