රාජපක්ෂ රෙජීම පාලන සමයේ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනයක් සිදුකර, පුද්ගලයන් තිස් තුන් දෙනකුට බරපතළ තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පාබල පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු බි‍්‍රගේඩියර්වරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙලෙස අධිචෝදනා ගොනු කරනු ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ බි‍්‍රගේඩියර් ගුණවර්ධන සූරියාරච්චිලාගේ දොන් අරුණ දේශප්‍රිය ගුණවර්ධන , ශ්‍රී ලංකා පාබල හමුදාවේ සැරයන් (පිටබැද්දර පදිංචි) ලලිත් ග්‍රේ , ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මාණ්ඩලික සැරයන් (අනුරාධපුර පදිංචි) ඩිංගිරි අරුණගේ සිරිසේන සහ ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් (ගල්නෑවේ පදිංචි) ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න නැමැති නිලධාරීන් සිව් දෙනාටය.
ලංකා දණ්ඩ නීති සංග්‍රයේ 300, 296 වගන්ති ප‍්‍රකාරව මනුෂ්‍ය ඝාතනය, මිනිමැරීමට තැත්කිරීම, බරපතළ තුවාල සිදුකිරීම, සම්බන්ධයෙන් මෙලෙස මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇතැයි ද දැනගන්නට ඇත.
නීති විරෝධී රැස්වීමක් හෝ කැරැල්ලක් විසරුවා හැරීමේදී අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 95 සහ 96 වගන්ති ප‍්‍රකාරව මෙම සැකකරු කි‍්‍රයා කර නොමැති බවත්, එසේම, පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ බවක් හෝ අනාවරණය නොවන බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
මෙම සිද්ධියට අදාළව මිය ගිය පුද්ගලයින් අතර පළමු වැන්නා එම සිද්ධිය වූ ස්ථානයේදීම වෙඩි වැදීමෙන් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයකු වැලිවේරිය හෙලන් වත්ත පාරේදී සහ අනෙක් පුද්ගලයා වැලිවේරිය දේවස්ථානයේ දී පහර කෑමට ලක්ව සහ වෙඩි වැදී මියගොස් ඇතැයි ද රහස් පොලිසිය කියයි.

