විදේශිකයන්ගෙන් අයකරන VAT : ආපසු ගෙවීම අද සිට  

විදේශිකයන්ගෙන් අයකරන VAT : ආපසු ගෙවීම අද සිට  

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අද (11) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

ඒ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අද  පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් විවෘත කරනු ලැබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

 2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

දැනට භාණ්ඩ හා ඇඳුම් පැළඳුම් විකුණන වෙළෙඳසැල් 18 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ විදේශිකයන් වෙත වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට දායක වීම සඳහා ලියාපදිංචි වී ඇත.

මෙම ක්‍රමයට දායක වීමට කැමැති ආයතන ඇත්නම් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැකිය.

2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින්, ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් (Trading Hub) ලෙස ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස විදේශ සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වේ.

මේ මගින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත.

එසේම සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලට ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන වැඩිදියුණු වීමත් ඒ හරහා විදේශ විනිමය ලංකාවට ආකර්ශණය වීමත් සිදු වනු ඇත.

ලෝක  ප්‍රවණතාවයන් අනුව, ලෝකයේ බොහෝ රටවල් විදේශ සංචාරකයින් තම රටවලට ආකර්ශණය කර ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ද ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව කෙරෙහි මුළු මහත් ලෝකයේම අවධානය යොමු කරනු ඇත. ඒ මගින් සංචාරක ආකර්ශණයන් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය ද තවත් එක් පිම්මක් පනිනු ඇතැයි විශ්වාස කරමු.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න