විරුද්ධවාදීන් තරු පහේ තරු හතේ හෝටල්වල සිට කොළඹ පැවති උද්ඝෝෂණය සැළසුම් කර ඊට පැමිණි පිරිසට තුන්වන පන්තියේ සැළකිල්ලක් ලබාදුන් බවත්, විපක්ෂයේ සිටියදී උද්ඝෝෂණ සංවිධානය කිරීමට ඔවුන් මෙලෙස ක්‍රියා කරනවා නම් ආණ්ඩු බලය හිමිවූ පසුව කෙසේ කටයුතු කරාවිද කියා රටේ ජනතාව හොඳින් සිතා බැලිය යුතු බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
එසේම හිටපු නිවාස ඇමතිවරයා අසත්‍ය විවේචන එල්ල කරමින් විවාදයකට එන්නැයි තමන්ට අභියෝග කරන බවත්, තමන් එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවත්, කී අමාත්‍යවරයා වායු සමනය කළ කාමරවල සිට ඔහු කියන කතා බොරු ප්‍රවෘත්ති බවට නිර්මාණය කර ඒවාට ප්‍රචාරය ලබාදෙන කණ්ඩායම් ඉදිරියේ සිට නොව තමන් විවෘත කරන උදා ගම්මානයක ජනතාව ඉදිරියේ සිට විවාදයකට සුදානම් බවද අමාත්‍යවරයා පවසා ඇත.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රඹෑව, වහමල්ගොල්ලෑව ඉදිවූ “සෑගිරිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (10) දින සහභාගී වෙමිණි.
“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 120 වන ආදර්ශ ගම්මානය මෙයයි.
නිවාස 48 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 522 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
“සෑගිරිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 48 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 216 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 48 ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘‘සොඳුරු පියස නිවාස ණය’’, වකුගඩු රෝගීන් 100 දෙනෙකුට රුපියල් ලක්ෂ 247 ක් වටිනා නිවාස අධාර, පොලිස් නිළධාරීන් 33 දෙනෙකුට රුපියල් ලක්ෂ 106 ක් වටිනා රාජ්‍ය සේවක ණය, ප්‍රතිලාභීන් 10 කට රුපියල් ලක්ෂ 23 ක් වටිනා ස්වයං රැකියා ණය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 150 දෙනෙකුට ඇස් කණ්නාඩි සහ නිවාසභාභීන් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ඇම්. පී. ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රාහුමාන් යන මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.