පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රීමා සමාගම විසින් රුපියල් 05 කින් වැඩි කරන ලද පිටි මිල යළි අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට කැබැනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ප්‍රීමා පිටි කිලෝවක මිල රුපියල් පහකින් හිතුමතේ වැඩි කිරීමට සමාගමට ඉඩදී බලා සිටීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු කිහිප දෙනකු පාරිභෝගික සේවා අධිකාරිය දැඩි විවේචනයකට ලක් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති ඇමැති ආචාර්ය සරත් අමුණුගම ප්‍රිමා සමාගමට පිටි මිල වැඩි කිරීම නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට නොහැකි නම් එම ආයතනයේ තේරුම කුමක්දැයි විමසා තිබේ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදහස් දක්වමින් රට පාලනය කරන්නේ ආණ්ඩුවද නැතිනම් සමාගම්දැයි විමසා ඇත.
සමාගම් හිතුමතේ මිල වැඩි කරන්නේ නම් එය නැවැත්වීමට පාරිභෝගික අධිකාරියට නොහැක්කේ මන්දැයි ද ඇමැතිවරයා විමසා තිබේ.
පිටි මිල ඉහළ දැම්මොත් වැඩ වරදී !
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව තිරිගු පිටි කිලොවක සිල්ලර මිල රු 5.00 කින් ඉහල දැමීමට තිරිගු පිටි නිෂ්පාදන ආයතන කටයුතු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
එසේ තිරිගු පිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එකී පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල නිෂ්පාදකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොපමාව ඉදිරියේ දී කටයුතු කරන බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමෙන්ම අධිකාරිය විසින් තිරිගු පිටි කිලෝවක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රු 87.00 ක් ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙඳුනට එරෙහිව වැටලීම් සිදුකර වහාම නීතිමය පියවර ගන්නා ලෙස ද ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දී ඇත.

