ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුට ලබාදුන් ආරක්ෂාව ඉවත් කළ විට කතා නොකළ කණ්ඩායම් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ උනන්දුවීම සම්බන්ධයෙන් එම පිරිස් වලට තමන් ස්තූති කරන බවත් අදාළ සිද්ධිය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කෙළේය.
ජනාධිපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාත් තමාත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන දැනටමත් සිදුවන අතර නීතිය හා සාමය පිළිබඳ විෂය භාර ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් සිදු කළ බවත් අගමැති වරයා සඳහන් කෙළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වාදය අවස්ථාවේදී සිය අදහස් දක්වමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව අදාළ තොරතුරු විෂය භාර ඇමතිවරයා අනාවරණය කළා. නමුත් යම් විමර්ශනයක් සිදුවන අවස්ථාවේදී ඒ පිළිබඳව සියළු තොරතුරු අනාවරණය කිරීමේ හැකියාවක් නැහැ.ඒ වගේම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උනන්දුවීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ එතුමාගේ ආරක්ෂාව ඉවත් කළා . නමුත් ඒ වේලාවේ කව්රුත් කතා කෙළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ආරක්ෂාව අවශ්‍යනම් ඉල්ලන්න පුළුවන්.එතන තිබෙන අර්බුද වල හැටියට එතුමාටත් ආරක්ෂාව අවශ්‍ය වේවි. මේ සිද්ධියෙන් දේශපාලන වාසි ගන්න හදන්න එපා. මේ අය මේ කතාව ආරම්භ කෙළේ ජනාධිපතිවරයාගෙන්. අවසන් කෙළේ පොලිස්පතිවරයාගෙන්. පොලිස්පතිවරයාගේත් යම් යම් අඩුපාඩුකම් තිබෙනො නම් ඒවත් එළියට එයි.මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන සිදු කෙරෙනවා. විමර්ශන අවසන් වුණාම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

