අපනයන ක්ෂේත්‍රයේ පවතින බාධාවන් තවදුරටත් ඉවත්කරලීම පිළිබඳ ඉදිරි අය-වැය යෝජනා තුළ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කරලීමේ දී වැදගත් ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයේ පිරිස් දිරිගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ගැටලු විසඳීමට ද රජය නිරන්තරයෙන් මැදිහත්වීම සිදුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2018 අපනයන සම්මාන උලෙළ අමතමිනි.
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධාන කරන මෙම සම්මාන උළෙල මෙවර පැවැත් වුණේ 22 වන වරටය.
2017/2018 වර්ෂයන්ට අදාළව ක්ෂේත්‍ර 11ක් යටතේ මෙහි දී සම්මාන පිරිනැමිණි. වසරේ ශ්‍රී ලාංකීය අපනයනකරුවා, උපරිම ශූද්ධ විදේශ විනිමය ඉපැයුම්කරුවා, වැඩිම වෙළෙඳපොළ විවිධාංගිකරණයක් ඇති අපනයනකරුවා, වසරේ හොඳම ශ්‍රී ලාංකීය අපනයන වෙළෙඳ නාමය, මෙරට අපනයනයේ නියැළී සිටින හොඳම බහුජාතික සමාගම, තිරසර සංවර්ධනයට දායක වන හොඳම අපනයන සමාගම, අපනයන ක්ෂේත්‍රයේ වැඩිම රැකියා උත්පාදක, ප්‍රාදේශීය මට්ටමින් අපනයනය සැපයුම් දාමයට වැඩිම දායකත්වයක් දක්වන අපනයනකරුවා, හොඳම නැගී එන අපනයනකරුවා, අපනයන ක්ෂේත්‍රය සඳහා හොදම ඇසුම්කරණ සේවා සැපයුම්කරුවා ආදි ක්ෂේත්‍ර යටතේ මෙම සම්මාන පිරිනැමිණි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2015 වසරට සාපේක්ෂව මේ වන විට අප අපනයන ක්ෂේත්‍රය තුළ යම්තාක් දුරට ඉදිරියට පැමිණ සිටිය ද ලබාගත යුතු ජයග්‍රහණ රැසක් පවතින බවයි.
අපනයන ක්ෂේත්‍රයේ තිබෙන බාධාවන් ඉවත්කිරීම මෙන්ම විදේශ වෙළෙඳ පොළට සුදුසු නිෂ්පාදන ක්‍රියාවලිය දැනට වඩා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත මහතා ඇතුළු නිලධාරීන් මීට එක්ව සිටියහ.

