Language Switcher

V2025

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහනට ආසියානු බැංකුවේ සහය 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් මිලියන 8000 මුදලක් (ඇ.ඩො. 50) ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ශ්‍රී විදෝවතී මහත්මිය විසින් අද (18)වනදා  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක යි. අපනයනය මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ජානගත ව්‍යාවාසයකත්ව හැකියාව බල ගැන්වීමේ සඳහා ණය යෝජනා ක්‍රම රැසක් ඒ යටතේ ක්‍රියාත්මක අතර සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන ඉන් ප්‍රධාන එකකි. මේ යටතේ වහල මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන සහන ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාසායකයන් වෙත රුපියල් මිලියන 7.5 දක්වා වූ ණය මුදලක් 8%ක  සහන පොලී අනුපාත යටතේ ණය ලබා දෙනු ලබයි.

සූර්ය බලශක්තිය උත්පාදනය මගින් 2020 වසර වන විට මෙගාවොට් (MW) 200 ක හා 2025 වසර වන විට මෙගාවොට් (MW) 1000 ක විදුලිය ජනනය කිරීම රජයේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් (MW) 50 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර තෝරාගත් බැංකු හා මූල්‍ය ආයතන හරහා පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වී ඇති සූර්ය පැනල් සපයන ආයතන වෙතින් සූර්ය පැනල මිලදී ගැනීමට අවශ්‍ය ණය ලබා දෙනු ලැබේ.

පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ තාක්ෂණික නිර්දේශ මූල්‍ය ආයතන වෙත ලබා දීම, වහල මත සවිකරන සූර්ය බල පද්ධති බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ කිරීම සඳහා පාරිභෝගික අයදුම්පත් අනුමත කිරීම, බලශක්ති උත්පාදනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම මඟින් ලංකා විදුලිබල මණ්ඩලය හා සීමාසහිත විදුලි සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහයවනු ඇත. මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම තුලින් පාරිභෝගිකයන්ට මේ හරහා තම නිවසට නොමිලයේ විදුලිය ලබා ගැනීමට අමතර ව අතිරික්ත විදුලිය ජාතික විදුලිය බල පද්ධතියට ලබා දිය හැකි ය.

මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇ.ඩො. මිලියන 59.8 ක් වන අතර එම පිරිවැයෙන් ඇ.ඩො. මිලියන 50 ක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාදෙනු ඇත. උප ව්‍යාපෘති සඳහා පාරිභෝගිකයන්ගේ කොටස් දායකත්වය ඇ.ඩො. මිලියන 9.8 ක් වේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඇ.ඩො. මිලියන 200 දක්වා මෙම ණය සීමාව ඉහළ නැංවෙනු ඇත.

DSC 7096