ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව එකදිගට විභාගයට !

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව එකදිගට විභාගයට !

රාජපක්ෂ පාලන සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 29 දා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව අද (19) සම්පත් අබේකෝන්( සභාපති),සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව සාක්ෂි කරුවන් පොලිසියට ලබාදුන් ප්‍රකාශ සමඟ ඇතැම් ලේඛන බැඳී පවතින බවත් මෙම නඩුවට මුහුණදීම සඳහා එම ලේඛන ද තමන් වෙත ලබා දීම අවශ්‍ය බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ  අධිකරණයට දන්වා සිටියේ අදාළ ලේඛන ලබන සිකුරාදාට පෙර විත්ති  පාර්ශව වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

ලේඛන හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් රජයේ සහ විත්තිකාර පාර්ශවයේ නීතිඥවරුන් දක්වන සහයෝගය පිළිබඳව අධිකරණය ප්‍රසාදය පළ කරන බව සඳහන් කළ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා මෙම නඩු විභාගය සාර්ථක කර ගැනීමට විත්ති සහ පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් වන බව ද කියා සිටියේය.

අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 29 සිට දිනපතා පැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂි කරුවන් හතර දෙනෙකුට අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

කෙසේවෙතත් විත්තියට ලබාදිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේද යන්න පිළිබඳව පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත මේ මස 28 වන දා කැඳවන බවද විනිසුරුවරු සඳහන් කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට  2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා   නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න