ජිනීවා චෝදනාවලට විසඳුමක් : ජනපති 25දා එ.ජා. සමුළුව අමතයි 

ජිනීවා චෝදනාවලට විසඳුමක් : ජනපති 25දා එ.ජා. සමුළුව අමතයි 

එක්සත් ජාතීන්ගේ 73 රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීමට අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට පැමිණ සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන අඟහරුවාදා (25දා) නිව් යෝර්ක් වේලාවෙන් සවස 4.30ට (ලංකාවේ වේලාවෙන් 26දා අලුයම 2.00ට) එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට නියමිතය.

සිව්වැනි වරට එ.ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එල්ලවන යුද අපරාධ චෝදනාවලට අදාළ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනා වෙනුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන එන නව යෝජනාවෙන් අලුත් විකල්ප ගණනාවක් ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. එල්.ටී.ටී.ඊ. චූදිතයන්ටත් - හමුදා රණවිරුවන්ටත් කඩිනමින් සාධාරණය ඉටුකළ හැකි අදහස් ජනාධිපතිවරයාගේ යෝජනාවට ඇතුළත් වියහැකි බවද නිව්යෝර්ක් නුවර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව එ.ජා.ප. මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතාටත් එ.ජා. මානවහිමිකම් මහ කොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලට් මහත්මියටත් පසුව භාර දීමට නියමිතය.

එ.ජා. මහ සමුළුවට අමතරව ජනාධිපතිවරයා හෙට 24දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධානය කරනු ලබන නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සාම සමුළුව ඇමතීම සඳහා ඇරයුම් ලබා ඇත. මේ අවස්ථාවට ලෝකයේ රාජ්‍ය නායකයන් 50කට වැඩි ගණනක් සහභාගී වනු ඇති බවද කියැවේ.

මෙයට අමතරව 26 බදාදා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කෙරෙන උත්සවයකට සහභාගී වන ජනාධිපතිවරයා 27 වැනි බ්‍රහස්පතින්දා ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කරන බෝ නොවන රෝග පිළිබඳ ඉහළ පෙළේ නායක සමුළුව ඇමතීමට ද නියමිතය.

මෙම උත්සවය අතරතුර ආසියාවේ හා යුරෝපයේ රාජ්‍ය නායකයන් ගණනාවක් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

දේශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න