දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මෙරට ක්‍රිඩා ක්ෂේත්‍රය දියුණු කිරීමට දැන් කාලය එළඹී ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
දේශපාලනඥයින් ක්‍රිඩා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ තම පෞද්ගලික අභිලාශයන් ඉටුකර ගැනීමට මිස ක්‍රිඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු දරණ අතර ක්‍රිඩා ක්ෂේත්‍රයේ තනතුරු දැරීමේ අයිතිය දේශපාලනඥයින්ට නැති කළ යුතු බවත්, ඔවුන්ට ක්‍රිඩා ක්ෂේත්‍රයේ තනතුරු දැරීමට අවශ්‍ය නම් දේශපාලනයෙන් ඉවත් වී එම තනතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
දේශපාලනඥයින් මෙරට ක්‍රිඩා ක්ෂේත්‍රයට ශක්තිය ලබා දීම පමණක් සිදු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, මෙරට ක්‍රිඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිවයින පුරා ක්‍රිඩා ගම්මාන ඉදිකිරීමට තමන් කටයුතු කර ඇති බවද පැවසීය.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත, පලපොත, මිහිඳුපුර ප්‍රදේශයේ ඉදිවන “සදා පූජිත අරවින්ද ද සිල්වාගම” උදා ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (22) දින සහභාගී වෙමිණි.
‘සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1,288 වන ආදර්ශ ගම්මානය මෙය වේ. “සදා පූජිත අරවින්ද ද සිල්වාගම” නිවාස 27 කින් සමන්විතයි.
බෙලිඅත්ත ප්‍රදේශයේ පවතින ඉඩම් හිඟය හේතුවෙන් මෙම ගම්මානය ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයෙන් ඉඩම් මිලදී ගෙන ඉඩම් නොමැති ජනතාවට ලබාදීමට කටයුතු කිරීම විශේෂත්වයකි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ටෙන්ඩර් පටිපාටිය යටතේ මෙම ඉඩම් මිලදී ගෙන ඇත.

