Language Switcher

V2025

තවත් බාල්දියක් : ඇමරිකාව ලංකාවට දෙන මුල්‍යාධාර කපයි !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුනු යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊයේ සම්මත විය.

ට්‍රැම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිලිගන්නේ යයි කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම යෝජනාව සමම්ත විය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත්කරගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 128 ක් පක්ෂ වූ අතර විරුද්ධ වුයේ රටවල් 9 ක් පමණි. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකුණහ.

යෝජනාවට පක්ෂවූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්විය.

tramp 1000px

යෝජනාවට පක්ෂවන රටවලට සැපයෙන මුල්‍යාධාර කපා හරින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබිණි.

 යෝජනාවට විපක්ෂවූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ගුවාතමාලා, හොන්ඩියුරාස්, මාෂල් දිවයින්, මයික්‍රොනීසියා, නාවුරු, පලාවු සහා ටෝගෝ යන රාජ්‍ය අයත් වූහ.

කැනඩාව හා මෙක්සිකෝ ඡන්දය දීමෙන් වැළකුණු රටවල් 35 අතර වේ.

ශ්‍රී ලංකාව ද ඇතුළුව යෝජනාවට පක්ෂවූ අනෙකුත් රටවලට, ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් නිත්‍ය සාමාජිකයින් හතරදෙනා (චීනය, ප්‍රංශය, රුසියාව හා එක්සත් රාජධානිය) මෙන්ම මුස්ලිම් ලෝකයේ ප්‍රධාන ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික රටවල්ද වූහ.

රටවල් 21 ක් ඡන්දය සඳහා නොපැමිණියහ.

රොයිටර් වාර්තා කරන්නේ එම යෝජනාවට පක්‍ෂ වූ රටවල් ගැන විමසිල්ලෙන් සිටින බවටත් මූල්‍යාධාර ලබා නොදෙන බවටත් ඇමෙරිකාව විසින් අනතුරු අඟවා ඇති බවයි.

රටකට එරෙහි ඡන්දයක් නොවෙයි :

කෙසේවුවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි මහ මණ්ඩල සැසියේදී 'ජෙරුසලමේ තත්ත්වය' සම්බන්ධ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය දීම එම සංවිධානයට අයත් කිසිදු සාමාජික රටකට එරෙහිව ඡන්දය දීමක් නොවන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ යෝජනා පදනම් කරගනිමින් අවසන් අවස්ථාවේ කරුණක් වශයෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු යැයි යන ජාත්‍යන්තර අවබෝධය අනුව යමින් ශ්‍රී ලංකාව දීර්ඝ කාලීනව රැදී සිටි සම්ප්‍රදායික හා මුලික ස්ථාවරය මත ඊයේ (දෙසැම්බර් 21 ) යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බවය.

එහිදී පලස්තීනය හා ඊශ්‍රායලයේ යුක්ති සහගත කරුණු මෙන්ම ජෙරුසලම ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයේ ද අගනුවර විය යුතුය යන කරුණ සැලකිල්ලට ගත් බව ද අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

එම ස්ථාවරය ඊයේ (දෙසැම්බර් 21) පැවති හදිසි මහ මණ්ඩල සැසියේදී සම්මත කරගන්නා ලද යෝජනාවෙන් යළි තහවුරු කර ඇති බව ද ඉන් අවධාරණය කරයි.

niki bbc

ජෙරුසලමේ තත්ත්වය මෙතරම් විවාදාත්මක ඇයි ?

සිය අනාගත රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම බව පලස්තීනුවන් කියා සිටින අතර එහි අවසන් තත්ත්වය ගැන සාම සාකච්ඡාවල අවසන් අදියරවලදී අවධානය යොමු කිරීමට නියමිතව තිබිණි.

jerusalama

 එ.ජා. යෝජනාවෙන් කියැවෙන්නේ කුමක්ද ?

දශක කිහිපයක ඇමෙරිකානු ප්‍රතිපත්තිය ආපසු හරවමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට මේ මස මුලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරණය හෙලා දුටු අරාබි සහ මුස්ලිම් රටවල ඉල්ලීම මත, රටවල් 193 ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දුර්ලභ හා හදිසි විශේෂ සැසියක් කැඳවිණි.

පලස්තීනුවන් මේ සඳහා ඉල්ලීම් කළේ, බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 21) අනුමැතිය ලද යෝජනාවට සමාන යෝජනාවකට එරෙහිව ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාව වීටෝ බලය යෙදවීමේ තත්ත්වය මතය.

ජෙරුසලමේ තත්ත්වය මෙතරම් විවාදාත්මක ඇයි ?

 තුර්කිය හා යේමනය ඉදිරිපත් කළ යෝජනාව තුළ ඇමෙරිකාව ගැන සඳහන් නොකළ ද "ජෙරුසලමේ තත්වය සම්බන්ධයෙන් මෑත පළවූ තීරණ කෙරෙහි බලවත් කනස්සල්ල'' පළකෙරිණි.

"ශුද්ධවූ ජෙරුසලම් නගරයේ ස්වභාවය, ජනවිකාස සංයුතිය වෙනස් කිරීමේ අභිප්‍රායෙන් යුතු කවර හෝ තීරණ හා ක්‍රියා නෛතික තත්ත්වයකින් තොර වන්නාසේම ශුන්‍ය හා බල රහිත වන අතර ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව නිෂ්ප්‍රභ කළ යුතු " යැයිද ඉන් පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ඡන්දයේ ප්‍රථිඵලය බැහැර කිරීමට සපථ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන් යනු "බොරුවෙන් යුතු තැනක්" බව කීය.

ඉන් පසුව නිවේදනයක් කළ ඔහු "ජෙරුසලම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දරන ඒකායන ස්ථාවරයට ස්තුතිය පළ කරන අතර සත්‍යය පැත්තෙන් හිඳ ඊශ්‍රායල හා එක්ව ඡන්දය දුන් රටවලට ස්තුති කරනවා" යැයි කියා සිටියේය.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය "පලස්තීනයට ජයග්‍රහණයක්" ලෙසිනි.

ඇමෙරිකාව මෙය දකින්නේ කෙසේ ද ?

ඡන්දයට පෙර කතා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලි, ගැටලුව සම්බන්ධ කවර හෝ අවසන් තත්ත්වයක් පිළිබඳ පූර්ව විනිශ්චයක් ඇමෙරිකාවේ තීරණයෙන් නොදෙන අතර රාජ්‍ය දෙකක විසඳුමට දෙපාර්ශ්වය එකඟ වෙන්නේ නම් ඊට බාධාවක් නොවන බව ද අවධාරණය කළාය.

"ස්වෛරී රාජ්‍යයක් වශයෙන් අපගේ අයිතිය භාවිත කළ නිසාම මහ මණ්ඩලය තුළදී හුදෙකලා කළ මේ දිනය ගැන ඇමෙරිකා එක්සත් ජනපදය සිහි තබා ගනීවි" යැයි ඇය සඳහන් කළාය.

නිකී හේලි වැඩිදුරටත් පෙන්වාදුන්නේ "ඇමෙරිකාව අපගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ රඳවනවා. එයයි ඇමෙරිකානු ජනතාව අපෙන් බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම, එය තමයි කළ යුතු නිවැරදි දේ. එක්සත් ජාතීන්ගේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් වෙන්නේ නැහැ." යනුවෙනි.

යෝජනාවට පක්ෂව ඡන්දය දෙන රටවලට දෙන මුල්‍යාධාර කපා හරින බව බදාදා (දෙසැම්බර් 20) ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

"ඔවුන් ඩොලර් මිලියන සිය ගණනින් වගේම ඩොලර් බිලියන ගණනින් අපෙන් මුදල් අරගෙන අපට විරුද්ධව ඡන්දය දෙනවා" යැයි ඔහු පැවසීය.

"හොඳයි, එහෙම ඡන්දය දෙන අය ගැන අප බලාගෙන ඉන්නේ" යැයි කී ඔහු, "ඔවුන් අපට විරුද්ධව ඡන්දය දීපුදෙන්. අපි ගොඩක් ඉතිරි කරනවා. අපි ඒ ගැන තකන්නේ නැහැ" යැයි කියා සිටියේය.

(මුලාශ්‍රය -බීබීසී සිංහල සේවය)