ජනාධිපති මෛත්‍රී අද එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරය අමතයි !

ජනාධිපති මෛත්‍රී අද එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරය අමතයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අද (25) එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

 'එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම' යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වැනි සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වේ.

 එහි ප්‍රධාන සැසිවාරය අද (25) ආරම්භ කෙරෙන අතර එදිනම පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරයි. ජනාධිති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතන සිවුවන අවස්ථාව මෙයයි.

අද පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පවත්වන විශේෂ පිළිගැනීමේ උත්සවයට ජනාධිපතිවරයා සහාභාගීවන අතර අනතුරුව එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගීවනු ඇත. අනතුරුව සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පිරිනමන දිවා භෝජන සංග්‍රහයට ද සහභාගීවේ. අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ජනාධිපතිවරයා අමතනු ඇත.

රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙන පළමු දිනයේම එම සමුළුව ජනාධිපතිවරයා ඇමතීම ද විශේෂ කරුණක් වනු ඇත. එහිදී ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ද ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇත.

ජනාධිපතිවරයා මේ යෝජනා ලෝක ප්‍රජාව වෙත සිය දේශනයෙන් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බාෂලේ මහත්මියට දැනුම් දීමටත්, එම යෝජනා 2019 මාර්තු මාසයේ ජිනීවාහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට නිල වශයෙන් ඉදිරිපත් කිරීමටත් නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න