නාමල් රාජපක්ෂ කරේ තබාගෙන පෙරහැරේ ගියද ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑ කිරීම මහින්ද රාජපක්ෂට පහසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන්කර සිටියේ, ‘‘අද දේශපාලන අවිනිශ්චිත බවක් රටේ තියෙන්නේ. ආණ්ඩුව පෙරළන්න දඟලන විපක්ෂයේ තියෙන්නේත් ඒ ගතියමයි. පසුගිය දවස්වල ටයි කෝට් දාගෙන ගෝඨා ජනාධිපති වෙන්න බලාගෙන හිටියා. දැන් කෝ මිනිහා, දැන් ගෝඨා ආගිය අතක් නැහැ.
ගෝඨාගේ ජනාධිපති හීනෙත් එතැනින්ම ඉවරයි. ඉතින් මොකද ඒකට වුණේ? යනුවෙනි.
එහිදී ලාල් කාන්ත මහතා වැඩිදුරටත් මෙසේද සඳහන්කර ඇත.
ශිරන්ති, නාමල් දෙන්නා මහින්දට කිවුවා, අපි නම් ගෝඨා ජනාධිපතිවරණයට එනවාට කැමැති නැහැ කියලා. එච්චරයි. ගෝඨාගේ ජනාධිපති කතාව එතැනින් ඉවරයි. ඉන් පස්සේ ගෝඨාව කරේ තියාගෙන ගිය පුද්ගලික රූපවාහිනී නාලිකාවලටත් වැඩේ අකුලා ගන්න සිදුවුණා.
මේ මොකද වෙන්නේ? දේශපාලන තරගයක්නේ මේ තියෙන්නේ. ඒකාබද්ධයේ එක් එක් විපක්ෂ බලවේගවලට වෙන වෙන කතා තියෙන්නේ. එතැනින් මහින්ද රාජපක්ෂට ඕනෑ කරන දේ දිහාට හැරුණොත් මොනවාද පෙනෙන්නේ? මෙන්න මෙහෙමයි,
මහින්දට ඕනෑ කරන්නේම නාමල් රාජපක්ෂව කරේ තියාගෙන යන්නයි. පොහොට්ටුවේ නායකයා මමයි කියලා තැන් තැන්වලදී සිග්නල් දිදී නාමල් යන්නේත් ඒ පෙරහැරේමයි. ඒත් නාමල්ගේ ජනාධිපති හීනේ හැබෑ කරන්න මහින්ද රාජපක්ෂට ලෙහෙසි නැහැ. මේ වෙලාවේ මහින්දගේ කල්පනාවේ විදියට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. එකක් ජනාධිපතිවරණය පවත්වන එක නවත්වන එක. අනෙක පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අගමැති වෙන එක. මහින්ද මම නම් විසි වෙනි සංශෝධනයට එකඟයි කියලා තව තව කෑලි ඒකට එකතු කරලා කියලත් තියෙනවා.
මේ හුඟක් මහින්දගේ තීරණ පසුපස තියෙන්නේ 2025 ජනාධිපතිවරණය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වයස් ප්‍රශ්න අරවා මේවා කොච්චර තිබුණත් ඒ අපේක්ෂකත්වයට දාන්න ඕනෑ නාමල්ව කියලා මහින්ද හිතනවා. එහෙම නැතිව මේ වැඩේට ගෝඨා හරියන්නේ නැහැ. 2020 ගෝඨා ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙලා දින්නොත් නාමල්ව 2025දි මහින්ද මෙච්චර දුරට හැදුව කුළුණ උඩ ජනාධිපති කරලා ඉන්දවන්න බැරි වෙනවා. ගෝඨා 2020 දිනුවොත් ඒක නාමල්ට 2025දි අපලයක් වෙන බව මහින්ද දන්නවා.
ගෝඨාව පැත්තකින් තියලා චමල් දිහාට හැරුණත් මහින්දගේ හිතට සැනසිල්ලක් නැහැ !
මේ නිසා ගෝඨාව පැත්තකින් තියලා චමල් දිහාට හැරුණත් මහින්දගේ හිතට සැනසිල්ලක් නැහැ. චමල්ව 2020ට දාලා දිනුවොත් 2025දි චමල් ගේන්නේ මහින්දගේ පුතා නාමල්ව නෙවේ. චමල් දිනුවොත් 2025 දී ජනාධිපතිවරණයට එන්නේ ශෂින්ද්‍ර. එතැනින්ම චමල් රාජපක්ෂත් කැපෙනවා. චමල්ටත් ජනාධිපති හීන දැක දැක ඉතින් ගෙදරට වෙලා ඉන්න පුළුවන්.දැන් මේ අවුල්වලින් ගොඩ ඇවිත් නාමල්ව උස්සන්න නම් මොකද කරන්නේ කියලා මහින්ද හිතනවා. ඒකට හොඳ විකල්පයක් තමයි, පරදින අස්සයෙක් දාලා 2020 රනිල්ට ලෙහෙසියෙන්ම ජනාධිපතිවරණය දිනා ගන්න ඉඩදීම. එතැනදී පරදින අස්සයෙක් විදියට කවුද තෝරන්නේ කියලා කල්පනා කරද්දී මහින්දට තෝරා ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. පෙහොට්ටුවේ සභාපති විදියට ජී. ඇල්ව ඉස්සරහට දැම්මහැකි. එහෙමත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන වුණත් නරක නැහැ කියලා මහින්ද දන්නවා.
ඒත් දේශපාලන කෑදරකමට මේ රටේ රාජාවලිය පුරා මරාගත්ත, ඇන කොටා ගත්ත විදියට නොවෙන්න බැරි දේවල් නැති තරම්. නිකම් මෙහෙම හිතන්නකෝ.
‘මහින්ද පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල’
මහින්ද ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒකට ශිරන්ති රාජපක්ෂව ඉදිරිපත් කරන්නත් බැරි නැහැ.
‘මහින්ද පසුපස සිටි දැවැන්ත සෙවණැල්ල’ කියලා රජ කාලේ හිටිය වීරවරියකගේ දෙන්නකුගේ නම් එක්ක පටලෝලා ශිරන්තිව උස්සන්න මහින්දට පුළුවන්. එහෙමත් නැතිනම් ‘මහින්ද දිනවන්න ශිරන්තිට ඡන්දය දෙන්න’ වගේ එකක් යොදා ගන්නත් මහින්දට බැරි කමක් නැහැ. මං මේවා මතක් කර දෙන්නේ මහින්ද රාජපක්ෂ මගේ උපන්දිනයට කතා කරලා සුබ පතන කෙනකු විදියට. එහෙම නම් ශිරන්තිට කතිරය ගහමු. මහින්ද ජනපති කරමු කියලා කියන්නත් මහින්දට පුළුවන්.
ඉතින් මහින්ද වටේ තවමත් එකතු වෙන මේ රටේ පුරවැසියන් නොවෙන යටත් වැසියන්ටත් එතකොට සතුටක් දැනෙයි. ෂා මරුනේ ජනාධිපතිත් අපේ මිනිහා, අගමැතිත් අපේ මිනිහානේ කියලා එතකොට ඒ කට්ටියට හිතෙයි.
ඇත්ත ඔන්න ඕකයි. මහින්දලාට තියෙන්නේ ආණ්ඩු පෙරළන ඇත්ත අරගලයක් නෙවෙයි කියලා අපි කියන්නේ ඒ නිසයි.”

