ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම රාජපක්ෂ පවුලේ උදවියට ජීවිත තර්ජනයක් ඇතැයි රහස් පොලිසියට කී ඉන්දියානු ජාතිකයා දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි. මර්සලින් තෝමස් නම් මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයකු සඳහන්කර සිටින්නේ අදාළ ඉන්දියානු ජාතිකයා 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී ඇති බවය.
ඒ සම්බන්ධව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයා මෙසේද සඳහන්කර ඇත.
“ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ගේ ජීවිතවලට තර්ජන ඇති බව ඉන්දීය ජාතිකයකු පවසා ඇති බවටත් ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සිටින බවටත් පළ වූ මාධ්‍ය වාර්තා අපේ අවධානයට යොමුවුණා.
මේ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා බලධාරීන් අපට දුන් සීමිත තොරතුරු පදනම් කරගනිමින් ඒ පුද්ගලයා පිළිබඳව පසුබිම් තොරතුරු සොයන්නැයි අපේ රටේ බලධාරීන්ට වහාම දැනුම් දුන්නා. ඒ අනුව සිදුකළ පරීක්‍ෂණයේදී මොහු 2000 වසරේ සිට මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා. අපි මේ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ සහ වෘත්තීය පරීක්‍ෂණයක් කිරීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.” යැයි ද ඔහු කීය.

