පිදුරංගල ගොස් ගනුලැබූ ජායාරූපයක් සමාජ ජාලා වෙත නිකුත්කළ ළමයින් තිදෙනාට අදාළව අධිකරණ කටයුත්තේදී පොලිසිය චෝදනා ගොනුකර ඇති ආකාරය කැත නින්දිත සහ ලැජ්ජා සහගත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රය මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහත දැක්වේ.
මානව හිමිකම් කේන්ද්‍රය නිකුත්කළ නිවේදනය!
මහා පුක් නඩුවට අද(27) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ළමයින් තිදෙනාට චෝදනා ගොනු කළේ ‘පුරා විද්‍යා පනතේ‘ 31 (1) ආ වගන්තිය යටතේය.
එයින් කියවෙන්නේ, ‘පුරා වස්තුවකට නින්දාවක්, හානියක් සිදු කිරීම‘ පිළිබද වරදකට රුපියල් 50,000 ක අවම දඩයක් නියම කළ හැකි බරපතල වරදකි.
වැදගත්ම දෙය එය නොවේ. මේ පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට චූදිතයින්ට ඇප ලබා දිය නොහැකිය. අවම වශයෙන් මහාධිකරණයට හෝ මේ ළමයින්ට ඇප ලබා දිය නොහැකිය. තවත් එකකි, ඇප අයදුම්පත ඉදිරිපත් කළ හැක්කේ අභියචනාධිකරණය වෙතය.
පොලීසිය චෝදනා ගොනු කිරීමේ දී, මේ ළමයින් වැඩිම කාලයක් ඇප රහිතව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම අරමුණ කොට ඇත. අන්ත දිළිදු දෙමාපියන්ගේ දරුවන් වන මේ පිරිසට අභියාචනාධිකරණයේ ඇප ඉල්ලුමපතක් ඉදිරිපත් කිරීමට ශක්තියක් නැත.
පිදුරංගල පුක් නඩුවේ දී පොලීසිය විසින් අද දින චෝදනා ගොනු කිරීමේ දී නීතිය නමා ඇති බව පැහැදිලිය. මන්ද, ඡායාරූපයක් ගැනීමෙන් ‘පුරාවස්තුවකට නින්දාවක්, හානියක් සිදු කිරීමට‘ කිසිදු හැකියාවක් නොමැති බැවිනි. එමෙන්ම, පුරා වස්තු යැයි කියා ගන්නා ස්ථානයන් හි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් ඕනෑම දෙස් විදෙස් පුද්ගයෙකු මෙලෙස ඇප ලබා දිය නොහැකි ආකාරයට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හැකි වන ලෙස පොලීසියට චෝදනා ගොනු කළ හැකි නම් එය ‘කැත, නින්දිත විලිළැජ්ජා සහගත‘ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

