යහපාලන රජයේ නිවාස වැඩපිළිවෙලේ  ජාති, ආගම්, පක්ෂ පාට භේද නෑ -සජිත් 

යහපාලන රජයේ නිවාස වැඩපිළිවෙලේ  ජාති, ආගම්, පක්ෂ පාට භේද නෑ -සජිත් 

යහපාලන රජයේ නිවාස වැඩපිළිවෙල ජාති, ආගම්, පක්ෂ පාට භේදයකින් තොරව දුක් විඳින පොදු ජනතාවගේ දුක නිවාලන අංක 1 දේශප්‍රේමී සංවර්ධන වැඩපිළිවෙලක් බවත්, ඒ අනුව 2020 දී කිසිවෙකු නොසිතන ඓතිහාසික ජයක් යහපාලන රජය හිමිකර ගන්නා බවත්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
දේශයට හා රටේ පුරවැසියන්ට ආදරය කිරීම දේශප්‍රේමීත්වය බවත්, මෙරට අසරණ ජනතාවට නොමිලේ ඉඩම් ලබාදී, සියලු පහසුකම් සහිතව නිවාස ඉදිකර දෙන උදා ගම්මාන වැඩපිළිවෙල මෙරට අංක 1 දේශප්‍රේමී වැඩසටහන බවත් පැවසූ අමාත්‍යවරයා, 2020 වන විට පොහොට්ටුවද අපේ පැත්තට එකතු වන බවත් සඳහන් කළේය.
 
හිටපු නිවාස ඇමතිවරයා බලයේ සිටියදී ඉදිකළ නිවාසවලින් සියයට අනූපහක්ම තම පවුල් පරපුරට ලබා දී අද ඔහු දේශප්‍රේමීත්වය පිළිබඳව නන් දොඩවන බවත්, විරුද්ධවාදීන්ගේ මෙම සට කපටකම් පිළිබඳව හොඳින් තේරුම් ගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.  
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ, අල්දොර ප්‍රදේශයේ ඉදිකළ “ශ්‍රී නාරද නාහිමිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (27) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 128 වන ආදර්ශ ගම්මානය මෙයයි.
 
නිවාස 26 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 328 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
 
“ශ්‍රී නාරද නාහිමිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 26 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 91 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 26 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 252 කට රුපියල් ලක්ෂ 269 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා සොඳුරු පියස නිවාස ණය ප්‍රදානය, ප්‍රතිලාභීන් 47 කට රුපියල් ලක්ෂ 23 ක් වටිනා නිවාස ණය හා ආධාර, “ශිල්ප සවිය” වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 12.5 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, වකුගඩු රොගීන් සඳහා නිවාස අධාර චෙක්පත් ප්‍රදානය, රුපියල් ලක්ෂ 52 වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය, සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, සෙවණ ආධාර ප්‍රදානය හා දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 84 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
 
මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න