ආර්ථිකය කඩා වැටිලා නම් පවුල් 308,000 කට යහපාලන රජය නිවාස දුන්නේ කොහොමද? සජිත්

ආර්ථිකය කඩා වැටිලා නම් පවුල් 308,000 කට යහපාලන රජය නිවාස දුන්නේ කොහොමද? සජිත්

“රුපියල අවප්‍රමාණය වී රට කඩා වැටිල, රටේ ආර්ථිකය කඩා වැටිලා” යැයි අද රටේ ප්‍රධාන ආර්ථික දේශකයා වී සිටින බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවත්, ඔහුගේ ප්‍රකාශ සත්‍යයක් නම් මේ වන විට රටේ පවුල් 308,000 කට යහපාලන රජය නිවාස සහන ලබා දී තිබෙන්නේ කෙසේද කියා තමන් ප්‍රශ්න කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  අවධාරණය කර සිටියි.

රුපියල් 2,500 කින් එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකි බව එදා පැවසූ පුද්ගලයා අද ආර්ථික විශ්ලේෂණ රටට ඉදිරිපත් කරන බවත්, රටේ ජනතාවට යම් ආදයමක් හිමිවනවා නම් එය නැති කිරීමට විරුද්ධවාදීන් අද කුමන්ත්‍රණ කරමින් සිටින බවත්, අමාත්‍යවරයා පවසයි.

මිනිසුන්ගේ නැතිබැරිකම් උලුප්පා මාධ්‍ය සන්දර්ශන පමණක් පැවැත්වීම නතර කර අසරණ ජනතාවට නිවාස ඉදිකර දීමට හා සහන ලබා දීමට අධාර උපකාර කරන ලෙස තමන් ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටින බවත්, ලෝක ජනාවාස දින සැමරුම වඩාත් ප්‍රතිඵලදායි වන්නේ එවිට බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරයි.

සෑම පුරවැසියකුටම ජීවත් වීමට වාසස්ථානයක් හිමිකර ගැනීම මානව අයිතියක් බවත්, මානව අයිතීන් පිළිබඳ වැඩිපුර කතා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය අසරණ ජනතාවගේ නිවාස ගැටළු වලට විසඳුම් ලබා දීමට මීට වඩා මැදිහත් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2018 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ඉදිකළ “ජගත් නිවහන්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 131 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 27 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 330 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“ජගත් නිවහන්ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම්පත්‍ර ලබාදීම සහ රුපියල් ලක්ෂ 101 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27 ක හිමිකම් ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 1,878 කට රුපියල් ලක්ෂ 3,718 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 180 කට රුපියල් ලක්ෂ 891 ක් වටිනා ‘ග්‍රාමශක්ති’ නිවාස ආධාර ප්‍රදානය, ‘විරුසුමිතුරු’ නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 110 කට රුපියල් ලක්ෂ 514 ක් වටිනා ආධාර, වකුගඩු රෝගීන් 101 දෙනෙකුට රුපියල් ලක්ෂ 330 ක් වටිනා නිවාස ආධාර, ප්‍රතිලාභීන් 100 ක් සඳහා රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘සොඳුරුපියස’ නිවාස ආධාර ප්‍රදානය, ප්‍රතිලාභීන් 54 කට රුපියල් ලක්ෂ 27 ක් වටිනා  නිවාස ණය / ආධාර ප්‍රදානය, සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 80 දෙනෙකුට රුපියල් ලක්ෂ 40 ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම්, විෂයානුබද්ධ පොත් කට්ටල, ප්‍රතිලාභීන් සඳහා විශ්‍රාම රැකවරණ ගිණුම් ප්‍රදානය, ප්‍රතිලාභීන් 25 කට මහන මැෂින් ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 319 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රාදානය කිරීම මෙහිදී සිදුකෙරණ.

මීට අමතරව ලෝක ජනාවාස දිනයට සමඟමීව දීප ව්‍යාප්තව පැවැත්වූ චිත්‍ර හා රචනා තරඟාවලියේ ජයග්‍රාහක දරු දැරියන්ට ත්‍යග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණ.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, නීතිය, සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හා  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුද එක්ව සිටියහ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න