20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එන පසුබිම වන්නේ 2015දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව බවත් ඔහුගේ ප‍්‍රධාන සටන් පාඨය එයවූ බවත් ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසයි.
20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුව ඊයේ පැවති අතර එහිදී ඔහු මෙම අදහස් දක්වා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය අතුලසිරි සමරකෝන් මෙසේද පැවසීය.
දින 100ක් ඇතුළත අහෝසි කරනවා කිව්වා. එසේ නැත්නම් අහිතකර බලතල අහෝසි කරනවා කිව්වා. ඒ සටන් පාඨය වටා බොහෝ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එකතු වුණා. ඒ අතර ජනාතා විමුක්ති පෙරමුණ එම සටන් පාඨය වෙනුවෙන් විශාල තල්ලූවක් දුන්නා. නමුත් බලය ලබාගත් ප‍්‍රධාන පක්ෂ දෙක ප‍්‍රධාන සටන් පාඨය අමතක කරලා විධායක බලතල පාවිච්චි කරමින් ඉන්නවා. ඒ අනුව තමයි ජවිපෙ සහ සිවිල් සංවිධාන අතර එකඟතාවයක් ඇතිවී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන්. මේක ඓතිහාසික සටනක්. විධායක ජනාධිපති ධුරය පිළිබඳව අදහස ආපු වෙලේ සිට ඊට විරුද්ධත්යක් ඇති වුණා. එදා මූලික පාර්ශ්ව වුනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එන්.එම්.පෙරේරා වැනි උගතුන්ගෙන් සමන්විත වාමාංශික පක්ෂ. එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ඓතිහාසික කතිකාවක් තිබෙනවා. ඒ කතිකාව ඉදිරියට ගෙන ගොස් අද පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජරාජීර්ණ ස්වභාවය ඉවත් කිරීමට වන ප‍්‍රබල පියවරක් මේ මගින් තැබිය හැකියි.
20න් ඉවත්කරන බලතල මොනවාද ?
මේ සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු ආණ්ඩුවේ ප‍්‍රධානියා කියන බලතල ඉවත් වෙනවා. නමුත් ඔහු තවදුරටත් රාජ්‍යයේ ප‍්‍රධානියා, සන්නද්ධ නායකයා යන බලතල ඔහු සතුව තවදුරටත් තිබෙනවා. ආණ්ඩුව මෙහෙයවීමේ බලය ඉවත් වෙනවා. දැන් තිබෙන විධායක බලය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට වග කියන්නේ නැහැ. එනිසා ජනතා පරමාධිපත්‍ය කියන කාරණය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය කියන තනි බලයක් මගින්.
විධායකයේ අධික බලතල නිසා බලය යුතු ලෙස භාවිතා වුණා !
ජේආර්ගේ සිට මහින්ද රාජපක්ෂ හරහා මෛත‍්‍රීපාල සිරිසේන දක්වා බලය අයුතු ලෙස භාවිතා කරන රාජ්‍ය නායකයින් බිහි වුණා. මේ අත්තනෝමතික බලය පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, අධිකරණය විසින් තුලනය කිරීම තමයි 20වැනි සංශෝධනය ලෙස අපි හඳුනාගන්නේ. ජනාධිපතිවරයා පත්කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡුන්දයෙන්. සීමිත ඡුන්ද කොට්ඨාශයකින්. ඉන්දියාවේ පවතින්නේ එවැනි ක‍්‍රමයක්. ජනාධිපති ධුර කාලය අවුරුදු 05යි. අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා වන නිසා ජනාධිපති ධුරයේ වැඩබැලීම කතානායකවරයා සතු වෙනවා. ජනාධිපතිවරයාට හිතුමතේ පාර්ලිමේන්තුව රැුස්කිරීම, විසුරුවාහැරීම ඇති බලය අහෝසි වෙනවා. එය සාධනීය කරුණක්. ජනාධිපතිවරයාට කැබිනට් තීරණ දැනගැනීමතේ කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමටත් ක‍්‍රමවේදයක් තිබෙනවා. විදේශ තානාපතිවරුන් පත්කිරීම කැබිනට් මණ්ඩල අනුමැතිය මත සිදුකළ යුතුයි. ජනාධිපති කාර්යමණ්ඩලය පත්කිරීම කැබිනට් මණ්ඩල අනුමැතිය මතයි. ජනාධිපතිවරයා ඉවත් කිරීම, අගමැතිවරයා පත්කිරීම, ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග ක‍්‍රියාත්මක වීම පිළිබඳව සාධනීය යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. පාර්ලිමේන්තුව පත්වී වසර දෙකක් ඇතුළත ආරාජිකත්වයක් ඇති වීම වැළැක්වීමට ප‍්‍රතිපාදන 20වැනි සංශෝධනයේ තිබෙනවා. මන්ත‍්‍රීවරුන් බිලිබාගැනීම වළක්වා තිබෙනවා. ජනාධිපති සමාව දීම සංශෝධනය කොට තිබෙනවා.
මෙම 20වැනි සංශෝධනය තුළ අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතිය නිවැරදි මගකට ගැනීමේ ආරම්භක අවස්ථාව තබා තිබෙනවා. 18 සංශෝධනය මගින් විධායක බලතල ඉහළ තැනකට ගෙනගියා. එනිසා පාර්ලිමේන්තුව අරාජිකවෙලා ගියා. එනිසා අත්තනෝමතික හිතුවක්කාරී බලතල අහෝසි කිරීම මේ රට ජනතාවාදී ප‍්‍රවේශයකට ගෙන යෑමේ පළමු පියවර වෙයි කියලා අපි හිතනවා.

මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු ද අදහස් දැක්වීය.
තනි පුද්ගලයෙකු මත බලය කේන්ද්‍රවීම නඩුත් හැමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාවට සමානයි- ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු
රටක ජනතාව පාලනය වෙන්නේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුවයි. එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බොහෝ විට ලෝක දේශපාලන තත්වයන් මත කාලෙන් කාලයට සංශෝධනයට ලක්වෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නැහැ. බොහෝ සංශෝධනයන් ගෙන එන්නේ පාලනය හොබවන පාලකයින්. අරමුණ ලෙස හොඳ දේවල් කතා කළත් අතීතයේ සංශෝධන සිදුවූ අත්දැකීම වන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ, පාලක පක්ෂවල බල වුවමනාවයි. 20වැනි සංශෝධනයේ විශේෂත්වය වන්නේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු මාර්ගයෙන්. ඔහුගේ දේශපාලන පක්ෂය අතීතයේ සිට ක‍්‍රියාත්මක වෙලා තිබෙන්නේ රටේ නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගල තුළයි. එනිසා මෙම සංශෝධනය දිහා මතුපිටින් බැලූවාමත් අපිට පේන්න තියෙන දේ තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගෙනා යෝජනාවක් ලෙසයි.
අත්තනෝමතික බලය සහිත පාලන ක‍්‍රමයෙන් ප‍්‍රගතිශීලි දිශාවට !
20වැනි සංශෝධනයේ අරමුණ වෙලා තිබෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අත තිබෙන බලය ඊට වඩා පහළට ගෙනඒමේ ක‍්‍රියාමාර්ගයන්. මෙම 20වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබුණොත් විධායකයේ තිබෙන අත්තනෝමතික බලය සහිත පාලන ක‍්‍රමයෙන් මිදී ප‍්‍රගතිශීලි දිශාවට හරවගන්න හැකියාව ලැබෙයි කියලා විශ්වාසයක් අපිට තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල අද සිදුවෙනමින් තිබෙන්නේ පවතින අත්තනෝමතික බල වහ්‍යූය වෙනස් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශාවකට ගමන් කිරීමයි. අප වාද විවාද කළ යුත්තේ ප‍්‍රජාතන්තවාදය වර්ධනය කිරීමේ දිශාවටයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරුද්ධව අදහස් ඉදිරිපත් වෙන ආකාරය බැලූවාම අපිට පේන්නේ බොහෝ පිරිස් 20වැනි සංශෝධනය හරිහැටි අධ්‍යයනය කර නැති බවක්. මධ්‍යස්ත මතධාරීන් ලෙස අප වාද විවාද කළ යුත්තේ මෙම සංශෝධනයෙන් සුළුවෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වර්ධනය කරගත හැකිද යන්න ගැනයි.
වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් නැවත බලයට !
බලය අවශ්‍ය වන්නේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම සඳහායි. එසේ නැතිව ජනතාව මර්දනය කිරීම සඳහා නොවෙයි. අපේ රටේ ඉතිහාසයේ බලය ක‍්‍රියාත්මක වෙලා තිබෙන්නේ වගවීමෙන් තොරවයි. කොයිතරම්ද කියනවානම් වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් නැවත බලයට එනවා. චෝදනා ලැබූවන්ට එය අවමානයට ලැජ්ජාවට කාරණයක් නොව අභිමානයට කාරණයක් වෙලා. 20වැනි සංශෝධනයෙන් විධායකට සහ පාර්ලිමේන්තුව අතර බලය සමපාත කිරීමට යෝජනා කරන්නේ මේ වගවීමත් වර්ධනය කර ආකාරයටයි. ව්‍යාපාර කළමනාකරණයේදී ප‍්‍රධානියා වන්නේ ප‍්‍රධාන විධායක නිලධාරියායි. නමුත් ඔහු ගන්න තීන්දු තීරණ සලකා බලන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානියා සභාපතිවරයායි. නමුත් මේ සභාපති තනතුර සහ ප‍්‍රධාන විධායක නිලධාරියා එක් පුද්ගලයෙක් නොවිය යුතුයි කියලා සම්ප‍්‍රදායක් තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල තිබෙන්නේ එක් අයෙක් මත බලය කේන්ද්‍රවීමක්. ඒක හරියට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන කතාවට සමානයි. ඒ නිසා යම් යම් වගවීමක් සහිතව බලය බෙදාගැනීමක් කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව කියන පුළුල් මහජන නියෝජනයක් සහිත ආයතනයට, කමිටුවලට ඒ බලය බෙදීමක් කළ හැකියි. හොඳ පාර්ලිමේන්තුවක් හදාගැනීම ජනතාව සතු කාර්යභාරයක්.
මේ නරාවළෙන් ගොඩ එන්න පියවරෙන් පියවර තැබිය යුතුයි !
20 සංශෝධනය සාර්ථක වූ පමණින් රටේ සියලූ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ වර්තමානයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය ආර්ථිකයේ කඩාවැටීමයි. එය පිළිබඳව වෙනම සලකා බැලිය යුතුව තිබෙනවා. නමුත් අප මේ මොහොතේ 20ට පක්ෂ වන්නේ එයින් අපේ සමාජය ශිෂ්ඨසම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් කළ හැකි බවට තිබෙන විශ්වාසය නිසයි. මේ නරාවළෙන් ගොඩ එන්න පියවරෙන් පියවර තැබිය යුතුයි. 20 ගැන බුද්ධිමත් සංවාදයක් ගොඩනගා ගනිමු.
‘20’ එකවර ප‍්‍රතික්ෂේප කරන්නන් වාසියට සහ ලේසියට යොදා ගන්නේ ජාතිවාදී සටන් පාඨයයි - සාහිත්‍යවේදී ආචාර්ය චාල්ස් දයානන්ද
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අතීතයේ සිටම අරගලයක් තිබුණා. දැන් ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ යෝජනාව බහුජන සාකච්ඡුාවකට ලක්විය යුතුයි. පුළුල් කතිකාවක් අවශ්‍යයි. එකවරම මෙය ප‍්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය හොඳ නැහැ කියන මතය අද ඊයේ ඇතිවූ දෙයක් නොව එය විධායක ජනාධිපති ක‍්‍රමය ඇතිවූදා පටන් තිබූ එකක්. මෙතෙක් හිටපු සෑම විධායක ජනාධිපතිවරයෙක්ම බලයට පත්වූනේ මෙය අහෝසි කරනවා කියන පොරොන්දුව දීලා. ඒ පොරොන්දුවට තමයි මහජනතාව ඡන්දය දුන්නේය. නමුත් කලින් නරකයි කියපු අයම අද කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය හොඳයි කියලා. සාමාන්‍ය පුරවැසියන් ලෙස එය අපිට හැෙඟන්නේ ඒ තුළ යම් දේශපාලන කුහකත්වයක්, දේශපාලන අවස්ථාවදීකමක් තිබෙනවා කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කරගැනීම වෙනුවෙන් ගෙනා සංශෝධනය පිළිබඳව එවැනි දේශපාලන අවස්ථාවාදී කතා මතුවෙනවානම් එය කණගාටුදායකයි. 20 සඳහා දේශපාලන විරුද්ධවාදීන් ඊට එරෙහිවීමට ජාතිවාදය භාවිතා කරන බව අපිට පේනවා. මොකද දේශපාලන බලය ලබාගැනීමේ කෙටි ක‍්‍රමයක් ලෙස අපේ රටේ ජාතිවාදය භාවිතා කරනවා.
යුද්ධය ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමයයි !
අද බොහෝ අය මතුකරන කාරණයක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් බෙදුම්වාදය ඉස්මතු වෙනවා කියන කාරණය. රට දෙකඩ වෙන්න පුළුවන්. කොටි සංවිධානය නැවත ඇති වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. යුද්ධය අවසන් කළේ විධායක ජනාධිපති ක‍්‍රමය කියලා ඔවුන් කියනවා. නමුත් ඇත්ත තත්වය යුද්ධය ඇති කළේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. 77 ජේආර් බලයට ආවට පස්සේ ඇති කළ විධායක ජනාධිපති ක‍්‍රමයෙන් පස්සේ තමයි යුද්ධය ඇතිවුණේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වාගේ උතුර මර්දනය කරන්නට දරුණු අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983 ජාතිවාදී කෝලාහළය ඇතිකළා. මේ සියල්ලටම විධායක ජනාධිපති ධුරය පිටුපස සිට සහය දැක්වූවා. එතැන් පටන් ඇතිවූ යුද්ධය විධායක ජනාධිපතිවරු පස්දෙනෙකුට නවත්තගන්න බැරිව ගියා. යුද්ධය අවසන් කළේ විධායක ජනාධිපති කියලා කියනවානම් යුද්ධය ඇති කළේ විධායක ජනාධිපති ධුරයම තමයි. ඒ නිසා මිත්‍යාවන්ට ජනාතව ගොදුරු විය යුතු නැහැ. ජාතිවාදය යොදා ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. 20වැනි සංශෝධනය ගැන පුළුල් කතිකාවක් ගොඩනගනවා මිසක රට දෙකඩවෙනවා, බෙදුම්වාදය ඇති වෙනවා කියලා මේය එකවරම ප‍්‍රතික්ෂේප කිරීම තුළ අපිට පේන්නේ ජනතාව කුපිත කිරීම සඳහා ඉතාම ලාභ සහ ලේසි සටන් පාඨය ලෙස ජාතිවාදය යොදාගන්න බවයි. අපි ජාතිවාදයෙන් බැටකෑවා හොඳටම ඇති. ආඥදායකත්වය ඉවත් කොට පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයක් ගොඩනගාගන්න 20 යොදාගන්න පුළුවන්. ඇතැම් කැබිනට් මණ්ඩල තීරණ ජනාධිපති අත්තනෝමතික තීරණ අනුව අවලංගු කරනවා. එය ආඥාදායක ස්වරූපයක්. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා යන ආයතනවලට විහිදී ගිය බලයක් සහිත ස්වාභාවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වාසිසහගතයි. අපේ ප‍්‍රාර්ථනාව එයයි. නමුත් එම සංශෝධනයේ අඩුපාඩු තිබෙනවානම් අපි ඒවා සාකච්ජා කරගතයුතුයි. අවුරුදු 20ක් 30ක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය ජයග‍්‍රහණය දක්වා ගෙනයමු.
මෙම මාධ්‍ය හමුවට වෛද්‍ය ශාන්තලාල් මහතා, බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාතාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා මහතාද සහභාගි විය.

