Language Switcher

V2025

අපනයන සැකසුම් කලාප සංකල්පය මගින් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න බැහැ - පාඨලී 

ලංකාවට තවදුරටත් අපනයන සැකසුම් කලාප සංකල්පය මගින් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  පවසයි. 

ඒ මහානගර අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත රුපියල් මිලියන 45ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධනය කරන අලූත්ගම බස්නැවතුම සංවර්ධනයේ අදියර 2 වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලේ කටුනායක බියගම, කොග්ගල ආදී ස්ථානවලට සීමාවී තිබූ කර්මාන්ත ගමට ගෙන ගියා. එයින් බලාපොරොත්තු උනේ අඩුමුදලට ජනතාවගෙන් සේවය මේ කර්මාන්තවලට අරගන්න, ඒ කියන්නේ ලාභ ශ‍්‍රමය ගමෙන් ගන්න. නමුත් ඒ පියවරත් 1990 ගණන් වන විට අවසන් උනා. තවදුරටත් ඒක ලංකාවේ කරන්න බැහැ. ලංකාවේ ලාභ ශ‍්‍රමය තවදුරටත් නැහැ. ඒ අනුව අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන නිෂ්පාදන සාධක ලාභ කිරීමෙන් ආයෝජකයින් කැඳවා ගැනීම කියන ප‍්‍රතිපත්තිය උපාය මාර්ගය දැන් ලංකාවට වලංගු නැහැ. ඒ නිසා ලංකාවේ ආසනයක් ආසනයක් පාසා අපනයන සැකසුම් කලාප හැදුවත් කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. ඒක තමයි යතාර්ථය. එහෙමනම් මොකක්ද අපි කළ යුතු? වර්තමානයේ අපේ උපාය මාර්ගය මාරු කළ යුතුයි. අපේ උපාය මාර්ගය අපනයන ක‍්‍රියාදාමය මාරු කළ යුතුයි. 1990 යම් අපනයන සැකසුමක් තිබුණත්, තේ, පොල්, රබර්, ඇඟලූම් සහ අනෙක් භාණ්ඩ හා සේවාවල අද තිබෙන්නෙත් ඒ සැකසුමමයි අවුරුදු 30 කට පස්සෙත් අපි එතැනමයි. මේක තමයි අපේ ලංකාවේ තිබෙන අපනයන අර්බුදය අපේ ආනයන වැඩි උනාට අපනයන වැඩිවෙලා නැහැ.

වියට්නාමයේ දියුණුව !

1990 දී වියට්නාමයේ අපනයනය බිලියන 5 යි. ලංකාවෙත් බිලියන 5යි. අද වියට්නාමයේ අපනයනය බිලියන 175 යි ලංකාවේ 10 යි. මේ තත්වය වෙනස් කිරීමට අපි මොකක් ද කළ යුත්තේ. එය වෙනස් කිරීම සඳහා කළ යුත්තේ නවෝත්පාදන උපායමාර්ගයට ගමන් කිරීමයි. තවදුරටත් ලාභ ශ‍්‍රමය ලංකාවේ නැති උනාට අපට ශක්තිමත් දැනුම සහිත බුද්ධිමත් පරපුරක් ඉන්නවා. ඒකයි අපි නිතරම අවධාරණය කරන්නේ කෝටි දෙකක් බඩවල්වලට කතා කරන දේශපාලනය වෙනුවට කෝටි දෙකක් මොළවල් වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි පැවසීය.