එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවා තම දේශපාලන ශක්තිය පෙන්වීමට ශ්‍රීලනිප ජේෂ්ටයන් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඒ වෙනුවෙන් ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක වෙත උපරිමයෙන් මැදිහත්වී මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කිරීමටත් පක්ෂයෙන් ඈත්වී ගොස් සිටින සාමාජිකයන් නැවත පක්ෂය වෙත කැඳවා ගන්නටත් වැඩසටහන් දියත් කරන්නට නියමිත බවද වාර්තා වෙයි.
ශ්‍රීලනිප ජේෂ්ටයන් මෙම තීන්දුව ගෙන තිබෙන්නේ මහින්ද - මෛත්‍රී පාර්ශව එක්කිරීම වෙනුවෙන් දියත්කළ උත්සාහය අසාර්ථකවීමෙන් පසුවය.
එහිදී බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් තම මැදිහත්වීම නොසලකා හැරී බවත් ඒ හේතුවෙන් තමන්ට දේශපාලන නින්දාවක් වූ බවද ඔවුන්ගේ අදහස වී ඇත.
මෙතෙක් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කල ශ්‍රීලනිප ජේෂ්ටයන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවී පොදුජන පෙරමුණට එරෙහිව දැඩි වාග් ප්‍රහාර ආරම්භ කර ඇත්තේද එම තීන්දුව අනුව බවද වාර්තා වේ.
සුසිල්ගේ ස්වරයේ වෙනසක්
දිගින් දිගටම රාජපක්ෂවරුන් සහ ජනාධිපතිවරයා අතර එකමුතුවක් වෙනුවෙන් පෙනී සිටි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ වන විට එම ස්ථාවරයෙන් ඈත්වී මැතිවරණ වේදිකාව තුළ බැසිල් රාජපක්ෂ වෙත දැඩි විවේචනයක් එල්ල කරන්නට ගෙන ඇත.
ජෝන් රත්නපුරේ
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් සියලු දෙනා පළාත් පාලන ජන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කැපවිය යුතු බවත් සෑම ජන්ද කොට්ඨාශකම පොහොට්ටුවට වඩා එක් ජන්දයක් හෝ වැඩිපුර ලබාගැනීමට කැපවිය යුතු බව අමාත්‍ය ජෝන් සෙනවිරත්නද සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකදී ය.
පොහොට්ටුවේ සම්පුර්ණ ශක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මත පමණක් බවත් ඔහුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බැවින් එම පක්ෂය ඉක්මනින්ම දුර්වල වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
එසේම අතීතයේද විවිධ පාර්ශව ශ්‍රීලනිපය අත්හැර වෙනත් පක්ෂ හදන්නට කටයුතු කලත් ඒ කිසිවකට පැවැත්මක් නොතිබූ බවත් කෙටි ආයුෂ ඇති පක්ෂ සමඟ කවුරු ගියත් ගමේ සිටින ශ්‍රීලනිප ක්‍රියාකාරීන් නිකං අමාරුවේ නොවැටිය යුතු බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

