ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුවයි - මංගල 

ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුවයි - මංගල 

ආණ්ඩුව රට ණය උගුලක සිරකරමින් සිටින  බවට ඇතැමුන් චෝදනා කළ ද සැබැවින්ම චීන ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහ පොළොව පමණක් නොව ගුවන් සීමාව පවා චීනයට සින්නකරව ලියා දුන් යුගයට තිත තැබීමට ආණ්ඩුවට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මංගල සමරවීර අමාත්‍යවරයා  මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය, ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ  (19) එකවෙමිනි.

අනුරාධපුර, මන්නාරම, බුත්තල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල මීට පෙර මෙවැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. පස් වැනි ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ලෙස විවෘත කෙරුණ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 285කි. ඉදිරියේ දී මෙවැනි තවත් ධාන්‍යාගාරයක් පොළොන්නරුවේ විවෘත කිරීමට සැලසුම් කර තිබේ. වී ඇතුළු ධාන්‍ය වර්ග රැසක් ගබඩා කිරීමේ පහසුව මෙහි පවතින අතර ඒවා ගබඩාකර තබා වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීමට ගොවීන්ට මෙමගින් අවස්ථාව උදාවේ.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා -

‘‘ආණ්ඩුව මේ වන විට සංවේදී සංවර්ධන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. මීට පෙර අපි දැක්ක සංවර්ධනය ඇත්තම ජනතාවාදී එකක් වුණේ නෑ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් එදා ආණ්ඩුව රුපියල් කෝටි 7000ක් වැය කරල තිබුණා. නමුත් අදටත් වැසිකිලි නැති නිවාස 20,000ක් හම්බන්තොට තියෙනවා. මුළු ලංකාවෙම නිවාස ලක්ෂ 10කට වැසිකිලි පහසුකම් නෑ.

රත්නපුර අධිවේගී මාර්ගයට අවශ්‍ය ප්‍රතිපාදන 2019 අයවැයෙන්!

කුරුණෑගල හරහා මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වෙමින් තියෙනවා. උතුරු අධිවේගී මාර්ගය ඉදිරියට යනවා. මම ඉතාම සතුටින් කියන්න කැමැතියි මෙවර අයවැය මගින් අපි රත්නපුරේ අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා.

අනුන්ගේ සංවර්ධනය වෙනුවෙන් අපි නම් ගහ ගන්නේ නෑ. අනුන්ගෙ ළමයින්ට අපි නම් තියන්න යන්නේ නෑ. අනුන් කරපු සංවර්ධන වැඩසටහන් අපි නවතන්න යන්නෙත් නෑ. නමුත් අපි ඒවා විවෘත කරන අවස්ථාවේ දී කියනවා මේ අහවල් කාලයේ දී පටන් ගත්ත සංවර්ධන වැඩසටහනක් කියල. අපි අනුන්ගේ වැඩවලින් ලකුණු දාගන්න සූදානම් නෑ. එදා මට මතකයි දක්ෂිණ අධිවේගී මාර්ගයට අපි තියපු මුල්ගල ගලවල නිල්වලා ගගට දාල පැවැති ආණ්ඩුව ඒ මාර්ගය විවෘත කරපු ආකාරය.

එදා හදපු නැවු එන්නෙ නැති වරායවල් අපි ලාබ ලබන තත්ත්වයට පත් කරවනවා. රැකියා ඇති කරවනවා. හම්බන්තොට වරායේ එදා 200ක් හිටපු සේවක සංඛ්‍යාව අද 600 දක්වා වැඩි කරල තියෙනවා. ඉදිරියට එම සංඛ්‍යාව තවත් වැඩි වේවි.  

ඇතැම් අය චෝදනා කරනව අපි ණය උගුලක රට හිර කරනවා කියල. ඇත්තෙන් ම චීන ණය උගුලෙන් රට බේර ගත්තේ අපි. කොළඹ වරාය නගර ව්‍යාපෘති ගිවිසුම තිබුණේ ඒ ඉඩම සින්නකර චීනයට ලියලා. ගොඩබිම විතරක් නෙවෙයි ගුවන් සීමාවත් ඔවුන්ට ලබා දීල තිබුණා. ඔවුන්ගෙන් අවසර අරගෙන තමයි ඒ ගුවන් සීමාව පාවිච්චි කරන්න අවස්ථාව තිබුණේ. ස්වාභාවික අපදාවක් වෙලා ඒ භූමියට හානියක් වුණොත් ඒ හානියටත් වන්දියක් ගෙවන්න ඒ ගිවිසුම මගින් අපි බැඳිල හිටියා. ඒ සියල්ල අපි වෙනස් කළා.  

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ තරුණ ව්‍යවසායකයන් 30,000කට සහන පොලී ණය   :   ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 48000ක් 

අද ඩොලරය මොන තත්ත්වයේ තිබුණත් අපි සංවර්ධනය නවත්තල නෑ. මේ වෙද්දි ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 48000ක් මේ මොහොත වෙද්දි ක්‍රියාත්මක වෙනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ රටේ තරුණ ව්‍යාවාසයකන් 30,000කට ආසන්න පිරිසකට සහන පොලී ණය ලබා දීල තියෙනවා. අපේ ඉලක්කය වසරක් ඇතුළත තරුණ ව්‍යාවසායකයන් ලක්ෂයක් බිහි කිරීම” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට තලතා අතුකෝරාළ, ඉරාන් වික්‍රමරත්න, දුනේෂ් ගන්කන්ද, කරුණාරත්න පරණවිතාන යන මැති ඇමැතිවරු සහභාගී වූහ. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහ ප්‍රතිලාභීහු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

මෙහිදී ගොවීන් පිරිසකට සංඛේතාත්මකව ගුදම් කුවිතාන්සි සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොලී ණය ලබා දීම සිදු කෙරිණි.

මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ඇඹිලිපිටිය නගරාසන්නයේ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරෙන මාර්ග සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට ද සහභාගී වූහ.

{gallery}ambilipitiya-ms{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න