ආඥාදායක පවුලක් විසින් රට ගැන තීන්දු ගත්ත යුගය අවසන්  - සජිත් 

ආඥාදායක පවුලක් විසින් රට ගැන තීන්දු ගත්ත යුගය අවසන්  - සජිත් 

එකිනෙකට වෙනස් න්‍යායන් හා දර්ශන වලින් යුත් රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී ගැඹුරින් සාකච්ඡා කරන විට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගහගන්නවා කියමින්  මෙය දියාරු ආණ්ඩුවක් යැයි මතයක් රට තුළ ගෙන යාමට විරුද්ධවාදීන් කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

කොළඹ වරාය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගැඹුරින් සාකච්ඡා කර ජනතාවාදී විසඳුමක් ලබා ගත් බව කී අමාත්‍යවරයා, යහපාලන රජය අද ප්‍රජාතන්ත්‍රවාදයෙන්, සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කළද පසුගිය රජය සමයේ මෙවැනි සාකච්ඡා නොතිබූ බවත්, එදා රටේ ප්‍රශ්න පිළිබඳ පවුල් පරපුර පමණක් සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ආඥාදායකත්වය හා රාජ්‍ය භීෂණය ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ යහපාලන රජය ඉන්දියාවට විරුද්ධ බවට මතයක් ගොඩනගා ඔස්කාර් සම්මාන දිනාගත හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විරුද්ධවාදීන් අද කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා,  අප ඉන්දියානු රජය සමඟ සමීපව කටයුතු කිරීම නිසා මෙරට නිවාස ඉදිකිරීමට ආධාර උපකාර ඉන්දියානු රජයෙන් ලබා දෙන විට එම ක්‍රියාවලිය නතර කිරීමට, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර භේදයක් ඇති කිරීමට විරුද්ධවාදීන් අද කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මණ්ඩලය තුළ සිදුවන සාකච්ඡා සාවද්‍ය ලෙස හුවා දක්වමින් නැවත බලයට ඒමට විරුද්ධවාදීන් අද කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව, අන්දරවැව ඉදිවූ “සරුජයගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ  (19) සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 140 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 17 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ   127 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සරුජයගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 17 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 85 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 17 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 200 කට රුපියල් ලක්ෂ 200 ක් වටිනා ‘විසිරි නිවාස ණය ප්‍රදානය’, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය, ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාතය දිලිප් වෙදආරදච්චි මහතාද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න