වරායේ නැගෙනහිර පර්යන්තය ස්තීර වශයෙන් ඉන්දියාවට ලබා නොදෙන බවත් එය ජනාධිපතිවරයා විසින්ද අනුමත කළ බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ රාවයට පැවසීය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවත්වාගැනීම සඳහා නැගෙනහිර පර්යන්තය එය සතුව පැවතීම අවශ්‍ය බවත් එය ගොඩනැගීමට අවශ්‍යකරන දොඹකර ඇතුළු වෙනත් දේ සම්බන්ධයෙන් මුදල් අනුමත කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් පසුගියදා තමන් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම පර්යන්තය ඉන්දියාවට ලබා දීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා 2018 වසරේ පැවති බ්‍රික්ස්(BRICS) සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට කරුණු පහදා දී තිබෙන අතර යම් හෙයකින් ඉන්දියාව වරායේ පර්යන්තයක් ඉල්ලා සිටින්නේ නම් බටහිර පර්යන්තය ඒ සඳහා ලබා දීමට සැලකා බැලිය හැකි බවද ඔහු කීවේය.
වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වරාය අධිකාරිය ජපානය හා ඉන්දියාව ඒකාබද්ධ රාජ්‍ය හවුල්කාරීත්වය පදනමක් මත එකඟතා ගිවිසුමක් අමාත්‍ය මලික් සමරවික්‍රමගේ මැදිහත් වීමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර තිබුණද එහි “නැගෙනහිර පර්යන්තය” යනුවෙන් සඳහනක් නොතිබෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.
මේ අතර කොළඹ වරාය පර්යන්තය ඉන්දියාව විසින් මෙහෙයවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර බෙදීමක් පවතින බව ඉන්දියාවේ ද හින්දු (The Hindu) පුවත්පත වාර්තා කර තිබිණි.
රාවය

