විදුලිබල අමාත්‍යංශයේ ටෙන්ඩරය අවුල් :  ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගෙන !

විදුලිබල අමාත්‍යංශයේ ටෙන්ඩරය අවුල් :  ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගෙන !

විදුලිබල අමාත්‍යංශය විසින් විදුලි බලාගාර ටෙන්ඩර් පැවරීමේදී නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව ක‍්‍රියාත්මක වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශ කර තිබේ.

කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350 ක ධාරිතාවයෙන් යුතු LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය ඒ සඳහා අවම මිල ඉදිරිපත් කල ලක්දනවි සමාගමට ලබා නොදී චීන සමාගමකට ලබාදීමට එරෙහිව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික ව්‍යාපාරය විසින් ගොනු කල නඩුව පසුගියදා විභාගයට ගැණුනු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය  මේ බව ප‍්‍රකාශ කර ඇත.
 
මෙම ටෙන්ඩරය පිළිබඳ අවසන් නිර්දේශය ලබාදීමට පෙර විදුලි බල අමාත්‍යංශය විසින් ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතු වුවද අමාත්‍යංශ ලේකම් බී.එම්.එස් බටගොඩ මහතා ඒ පිළිබඳව නොසලකා ක‍්‍රියාකර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය විය. මහජන උපයෝගීතා කොමිසම නියෝජනය කරමින් පැමිණි නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තහවුරු කරන ලදි.
 
මෙම බලාගාරයේ විදුලි ඒකකයක් සදහා ලක්දනවි සමාගම රුපියල් 14.98 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර ජී.සි.එල් චයිනා සමාගම රුපියල් 15.97 ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.
 
තාක්ෂණික ඇගයීම් කමිටුව සහ කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුව විසින් ලක්දනවි සමාගමට මෙම ටෙන්ඩරය ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබියදී එක්වරම එය චීන සමාගමට ලබාදීමට අමාත්‍යංශ ලේකම්වරයා ක‍්‍රියාකිරීම නිසා දළ වශයෙන් රුපියල් බිලියන 85 ක පමණ අලාභයක් රටට සිදුවනු ඇතැයි පසුගිය සමයේදී  සමාජය තුල බොහෝ සේ කතාබහට ලක්විය.
 
මෙම නඩුව නොවැම්බර් 27 වනදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න