මහින්දට පාර්ලිමේන්තු බහුතරය නැති බව යළිත් ඔප්පු වේ !

මහින්දට පාර්ලිමේන්තු බහුතරය නැති බව යළිත් ඔප්පු වේ !

කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන සුළුතර මන්ත්‍රී පිරිස විසින් අද (15) පාර්ලිමේන්තුව තුළ නින්දිත ලෙස හැසිරෙමින් එහි කටයුතු වලට බාධා කරමින් කතානායකවරයා පුටුවෙන් ඉවත් කිරීමට තරම් සාහසික ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

එහි සිටින අප වාර්තා කරුවන් සඳහන් කරන ආකාරයට තිලංග සුමතිපාල  මන්ත්‍රීවරයා කතානායකවරයා අසලට ගොස් පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර අනතුරුව තවත් මන්ත්‍රීවරයෙකු කතානායක ආසනයට වතුර වත්කර ඇති බවද දැනගන්නට ඇත.

එසේම පාර්ලිමේන්තුවේ සිටි කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කතානායක ආසනය දෙසට කසළ බඳුන්වලින් පවා පහරදී ඇති බවද දැනගන්නට ඇත.

මෙම තත්ත්වය ඇතිවුයේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව එම ප්‍රකාශයට අදාළව ජන්ද විමසීමක් අවශ්‍ය බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කිරීමත් සමඟය.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කර සිටියේ අදාළ ජන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කිරීම හරහා සිදුකල යුතු බවය.

එවැනි ජන්ද විමසීමකට ගියා නම් නියත වශයෙන්ම මහින්ද රාජපක්ෂ නම් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ඔප්පු වන්නේය.

කෙසේ වුවත් මේ සම්බන්ධව ලැබී ඇති වැඩිදුර තොරතුරු වලට අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ශව බලාපොරොත්තු වී ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී නිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්වය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ආසන වල අසුන්ගනු ඇති බවත් ඒ අවස්ථාවේ ගැටුමක් ඇතිකර ගැනීමටත් ය. නමුත් ඒ වෙනුවට සිදුවුයේ ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයවූ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට නැවතත් අගමැති ලෙස සහ ඒ පාර්ශවයට ආණ්ඩු පක්ෂ අසුන්වල සිටීමට ඉඩහැරීමය.

ඒ හමුවේ පාර්ලිමේන්තු බහුතරය පෙන්වා අගමැතිධුරය තහවුරු කරගන්නට කුමන්ත්‍රණ ආණ්ඩුවට අවස්ථාව තිබිණ. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැත. මේ වන විටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122ක් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව සිටියි.

එබැවින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිගේ කතාවට අදාළව ජන්ද විමසීමක් ඉල්ලු සැනින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ පිරිස් පාර්ලිමේන්තුව තුළ සිය කුමන්ත්‍රණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී සහ සාහසික ලෙස හැසිරෙන්නට විය.

මහින්දගේ ප්‍රකාශය තහවුරු කළේ ද කුමන්ත්‍රණයයි !

අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකල කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද සිය ක්කතාව තුළ අවම වශයෙන් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපති සිරිසේන ගනු ලැබූ තීරණයහෝ සාධාරණීකරණය කිරීමට නොහැකි විය. 

ඒ වෙනුවෙන් ඔහු කියා සිටියේ ජනාධිපති ඝාතනයක් ගැන අසන්නට ලැබීම, විදෙස් සමාගම් වලට දේපල විකිණීම, කැබිනට් මණ්ඩලයේ වාද විවාද ඇතිවීම වැනි විකාර සහගත කරුණු කිහිපයක් පමණය.

රාජපක්ෂ සමයේ සින්නක්කරව විදේශික සමාගම් වෙත මෙරට ඉඩම් විකුණා ඇතත් යහපාලන ආණ්ඩු සමයේ එවැනි දෑ සිදුවුයේ නැත. 

එම කතාවේ ජනතාවට වැදගත් දෙයක් ලෙස කියවුනේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැට්‍රල් මිල අඩු කරන බව පමණය. 

ඒ අනුව පෙනී යන්නේ මෙරට නිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධූරයෙන් ඉවත්කර කුමන්ත්‍රණකාරී බල හුවමාරුවක් සිදුවී ඇති බවත් එම කුමන්ත්‍රණය සඳහා අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරවා දමන්නට නින්දිත උත්සාහයක ඔවුන් නියෙලෙන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න